එළිදරව් 20
20
අවුරුදු දහසකට සාතන් බඳිනු ලැබීම
1තවද පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැළක්ද ඇතුව දේවදූතයෙක් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි. 2ඔහු යක්ෂයාද සාතන්දවූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය, 3ඒ අවුරුදු දහස කෙළවරවන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රාකෙළේය. මින්පසු ස්වල්ප කලකට ඔහු මුදනු ලබන්ට ඕනෑය.
4තවද සිංහාසන දුටිමි, ඔව්හු එහි හිඳගත්තෝය, විනිශ්චයද ඔවුන්ට දෙනලද්දේය. තවද යේසුස්වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන්වහන්සේගේ වචනය නිසාද හිස් කපාදමනු ලැබූවන්ගේද, මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළාවූ, උගේ සලකුණ තමුන්ගේ නළල්වලත් අත්වලත් නොලැබුවාවූ තැනත්තන්ගේද ආත්මයන් දුටිමි; ඔව්හු ජීවත්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම්කළෝය. 5මළාවූ අනික් අය අවුරුදු දහස කෙළවරවන තුරු ජීවත් නූණෝය. මේ වනාහි පළමුවෙනි නැවත-නැගිටීමය. 6පළමුවෙනි නැවත-නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය, ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේය; ඔව්හු දෙවියන්වහන්සේගෙත් ක්‍රිස්තුස්වහන්සේගෙත් පූජකයෝව, උන්වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම්කරන්නෝය.
සාතන් නිදහස්කිරීම. අන්තිම සටන
7අවුරුදු දහස කෙළවරවූ කල සාතන් තමාගේ හිරගෙයින් මුදනු ලැබ, 8පොළොවේ සතර කොනේ සිටින්නාවූ ගොග් මාගොග් යන ජාතීන් මුළාකරන්ටත් ඔවුන් යුද්ධයට රැස්කරන්ටත් නික්ම එන්නේය. ඔවුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්ය. 9ඔව්හු පොළොවේ සෑම තැනටම ගොස් ශුද්ධවන්තයන්ගේ කඳවුරද ප්‍රියවූ නුවරද වටලාගත්තෝය. එවිට [දෙවියන්වහන්සේ වෙතින්] ස්වර්ගයෙන් ගිනි බැස ඔවුන් විනාශකෙළේය. 10ඔවුන් මුළාකළ යක්ෂයා වනාහි, මෘගයාද බොරු අනාගතවක්තෘද වසන, ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය; ඔව්හු සදාකාලේටම දිවා රෑ දෙක්හි වධකරනු ලබති.
සාමාන්‍ය මළවුන්ගෙන් නැගිටීම සහ අන්තිම විනිශ්චය
11තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය. 12මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවනපොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය. 13සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මළවුන් පාවාදුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චයකරනු ලැබුවෝය. 14මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළනලද්දේය. මෙය දෙවෙනි මරණයය, එනම් ගිනිවිලය. 15යමෙකුගේ නම ජීවන-පොතෙහි ලියා නැති බව සම්බවීද, ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය.
Currently Selected:
එළිදරව් 20: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society