YouVersion Logo
Search Icon

ගීතාවලිය 94

94
පොළොවේ විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ
1පළිගැන්ම අයත් දෙවිවූ ස්වාමිනි, පළිගැන්ම අයත් දෙවියන්වහන්ස, බැබළුව මැනව.
2පොළොවේ විනිශ්චයකාරයාණෙනි, නැගුටුණ මැනව.
උඩඟුවූවන්ට ප්‍රතිඵල දුන මැනව.
3 ස්වාමිනි, දුෂ්ටයෝ කොපමණ කල්, දුෂ්ටයෝ කොපමණ කල් ජය ඝෝෂා කරන්නෝද?
4ඔව්හු දොඩවති, අහංකාරලෙස කථා කෙරෙති.
අයුතුකම්කරන සියල්ලෝම පාරට්ටු කරගනිති.
5 ස්වාමිනි, ඔව්හු ඔබගේ සෙනඟ කැබලිකරති, ඔබගේ උරුමයට පීඩාකෙරෙති.
6ඔව්හු වැන්දඹුව සහ විදේශියාද නසති, පියා නැත්තන් මරති.
7 ස්වාමීන්වහන්සේ නොදක්නාසේක, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නොසලකනසේකැයි කියති.
8සෙනඟ අතරේ මෝඩයෙනි, කල්පනාකරව්.
ආඥානයෙනි, නුඹලා කවදා ඥානවන්තවන්නහුද?
9කන පිහිටෙවු තැනන්වහන්සේට නොඇසෙන්නේද?
ඇස සෑදූ තැනන්වහන්සේට නොපෙනෙන්නේද?
10ජාතීන්ට දඬුවම්කරන තැනන්වහන්සේ, එනම් මනුෂ්‍යයාට ඥානය උගන්වන්නාවූ තැනන්වහන්සේ, දඬුවම් නොකරනසේක්ද?
11මනුෂ්‍යයාගේ සිතිවිලි නිෂ්ඵල බව ස්වාමීන්වහන්සේ දන්නාසේක.
12 ස්වාමිනි, දුෂ්ටයාට වළ හෑරෙන තුරු, විපත්ති දවස්වලින් නිවාඩු දෙන පිණිස,
13ඔබ විසින් දඬුවම්කොට ඔබගේ ව්‍යවස්ථාවෙන් උගන්වනු ලබන මනුෂ්‍යයා පිනැත්තෙක්ය.
14මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ඉවත නොදමනසේක, තමන් උරුමයද අත් නොහරිනසේක.
15මක්නිසාද විනිශ්චය ධර්මිෂ්ඨකමට හැරෙන්නේය.
අවංක සිත් ඇති සියල්ලෝ එය අනුව යන්නෝය.
16නපුරුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට නැගිටින්නේ කවුද?
අයුතුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට සිටින්නේ කවුද?
17 ස්වාමීන්වහන්සේ මට පිහිට නුවූසේක්නම් මාගේ ආත්මය නිශ්ශබ්ද ස්ථානයෙහි වාසයට ළංවිය.
18මාගේ පාද ලිස්සන්නේයයි මා කීකල, ස්වාමිනි, ඔබගේ කරුණාව මා ඉසිලීය.
19මා තුළ මාගේ සිතිවිලි බොහෝවූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැප දෙයි.
20පනතෙන් නපුර යොදන්නාවූ දුෂ්ටකමේ සිංහාසනය ඔබ හා සම්බන්ධ වන්නේද?
21ධර්මිෂ්ඨයාගේ ප්‍රාණයට විරුද්ධව ඔව්හු රැස්ව නිදොස් ලෙය වරදට පත්කරති.
22නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ බලකොටුව වූසේක;
මාගේ දෙවියන්වහන්සේ මාගේ ආරක්ෂා පර්වතය වූසේක.
23උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම ඔවුන් පිටට පෙරළූසේක, ඔවුන්ගේම නපුරුකමෙහි ඔවුන් සිඳ දමනසේක;
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් සිඳදමනසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy