ගීතාවලිය 85:1-13
ගීතාවලිය 85:1-13 SROV
ස්වාමිනි, ඔබගේ දේශයට ඔබ කරුණාකළසේක. යාකොබ් වහල්කමින් මුදා ගෙනාසේක. ඔබගේ සෙනඟගේ අයුතුකම කමා කළසේක, ඔවුන්ගේ පව් සියල්ල වැසූසේක. ඔබගේ මුළු උදහස පහකරදැමූසේක. ස්වකීය තද කෝපයෙන් හැරුණුසේක. අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, අප හැරෙවුව මැනව, අප කෙරෙහි වූ ඔබගේ කෝපය නැවැත්වුව මැනව. ඔබ අප සමඟ සදාකල්ම උදහස් වනසේක්ද? සියලු පරම්පරාවලට ඔබගේ උදහස පවත්වනසේක්ද? ඔබගේ සෙනඟ ඔබ කෙරෙහි ප්‍රීතිමත් වන පිණිස අප නැවත ජීවත් නොකරනසේක්ද? ස්වාමිනි, ඔබගේ කරුණාව අපට දැක්වුව මැනව, ඔබගේ ගැළවීම අපට දුන මැනව. දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා. තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය. කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය; ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය. සැබෑකම පොළොවෙන් හටගනී; ධර්මිෂ්ඨකමද ස්වර්ගයේ සිට බැලුවේය. එසේය, ස්වාමීන්වහන්සේ යහපත් දේ දෙනසේක; අපේ දේශයද එහි ඵල දෙන්නේය. ධර්මිෂ්ඨකම උන්වහන්සේට පෙරටුව යමින් උන්වහන්සේගේ පා සලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේය.







