YouVersion Logo
Search Icon

ගීතාවලිය 78

78
ඉශ්‍රායෙල්වරුන්ගේ කථාන්තරය සිහිකරවාදීම ‍
ආසාප්ගේ අනුශාසනාවකි.
1එම්බා මාගේ සෙනඟ, මාගේ ව්‍යවස්ථාවට කන්දෙව්.
මාගේ මුඛයේ වචනවලට කන් යොමු කරව්.
2උපමාවකින් මාගේ කට අරින්නෙමි;
අප විසින් ඇසුවාවූ, දැනගත්තාවූ,
3අපේ පියවරුන් අපට කියාදුන්නාවූ පුරාණයේ වාක්‍යයන් ප්‍රකාශ කරන්නෙමි.
4අපි ඔවුන්ගේ දරුවන් කෙරෙන් ඒ දේ නොසඟවා, ස්වාමීන්ගේ ප්‍රශංසාවත් ශක්තියත් උන්වහන්සේ කළ ආශ්චර්ය ක්‍රියාත් මතු එන පරම්පරාවට ප්‍රකාශ කරන්නෙමුව.
5එසේ උන්වහන්සේ යාකොබ්හි සාක්ෂියක් පිහිටුවා, ඉශ්‍රායෙල්හි ව්‍යවස්ථාවක් පනවා, ඒවා තමුන්ගේ දරුවන්ට දන්වන්ට අපේ පියවරුන්ට අණකළසේක.
6මෙසේ කළේ එන්නාවූ පරම්පරාව, එනම් උපදින්ට සිටින දරුවන්, ඒවා දැනගෙන, නැගිට ස්වකීය දරුවන්ට කියාදෙන පිණිසත්,
7තමුන්ගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබා, උන්වහන්සේගේ ක්‍රියා සිහිනැති නොකොට, උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන පිණිසත්,
8මුරණ්ඩු කැරළිකාර පරම්පරාවක් වූ, තමුන්ගේ සිත් එකඟකර නොගත්තාවූ, දෙවියන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතක් නැත්තාවූ පරම්පරාවක්ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් නොවන පිණිසත්ය.
9යුද්ධයට සැරසී දුනු ගත් එප්‍රායිම් පුත්‍රයෝ සටන් දවසේදී පස්සට හැරුණෝය.
10ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම රක්ෂා නොකළෝය, උන්වහන්සේගේ ව්‍යස්ථාව ලෙස හැසිරෙන්ට නොකැමැතිවූවෝය;
11උන්වහන්සේ කළ දේද උන්වහන්සේ තමුන්ට දැක්වූ ආශ්චර්ය ක්‍රියාද ඔව්හු මතක නැතිකළෝය.
12උන්වහන්සේ මිසර දේශයෙහි ශෝවාන් කෙතේදී ඔවුන්ගේ පියවරුන්ගේ ඇස් හමුවෙහි පුදුම දේ කළසේක.
13උන්වහන්සේ මුහුද බෙදා ඔවුන් ඒ මැදින් යන්ට සැලැස්වූසේක;
උන්වහන්සේ ජලධාරාවන් කන්දක් මෙන් සිටෙවුසේක.
14දවාලේ වලාකුළකින්ද මුළු රෑ ගිනි එළියකින්ද උන්වහන්සේ ඔවුන් ගෙනගියසේක.
15වනාන්තරයෙහිදී පර්වත පළා, ගැඹුරුවලින් මෙන් බොහෝකොට ඔවුන්ට වතුර බොන්ට දුන්සේක.
16පර්වතයෙන් දිය පාරවල්ද නගා, ගංගා මෙන් ජලය ගලායන්ට සැලැස්වූසේක.
17එහෙත් ඔව්හු කාන්තාරයෙහිදී මහෝත්තමයාණන්ට විරුද්ධව කැරළි ගසමින්, උන්වහන්සේට විරුද්ධව තව තව පව්කළෝය.
18තමුන්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලීමෙන් සිතින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝය.
19එසේය, ඔව්හු දෙවියන්වහන්සේට විරුද්ධව කථාකරමින්:
වනාන්තරයෙහි මේසයක් පිළියෙළ කරන්ට දෙවියන්වහන්සේට පුළුවන්ද?
20බලව, උන්වහන්සේ පර්වතයට ගැසූ කල ජලය වැගුරුණේය, දියපාරවල් ගලාගියේය;
රොටිත් දෙන්ට හැකිසේක්ද?
ස්වකීය සෙනඟට මාංස සපයාදෙන සේක්දැයි කීවෝය.
21එබැවින් ස්වාමීන්වහන්සේ අසා උදහස්වූසේක.
යාකොබ්ට විරුද්ධව ගින්නක් ඇවුළුණේය, ඉශ්‍රායෙල්ට විරුද්ධව කෝපයද නැංගේය;
22මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ කෙරෙහි නොඇදහුවෝය, උන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම විශ්වාස නොකළෝය.
23එසේ වුවත් උන්වහන්සේ ඉහළින් ආකාශයට අණකොට, ස්වර්ගයේ දොරවල් ඇරියසේක;
24කෑම පිණිස මන්නා වස්වමින්, ස්වර්ග ශස්‍යයෙන් ඔවුන්ට දුන්සේක.
25මනුෂ්‍යයා බලවතුන්ගේ රොටි කෑයේය.
සෑහෙන පමණ ආහාර උන්වහන්සේ ඔවුන්ට එවුසේක.
26උන්වහන්සේ අහසෙහි පෙරදිග සුළඟ හමන්ට සැලැස්වූසේක.
ස්වකීය බලයෙන් දකුණු දිග සුළඟ ගෙනාසේක.
27උන්වහන්සේ ධූලි මෙන් මාංසද මුහුදු වැලි මෙන් පියාපත් ඇති පක්ෂීන්ද ඔවුන් පිට වැස්සෙවුසේක.
28එය ඔවුන්ගේ වාසස්ථාන අවට කඳවුර මැදට හෙළූසේක.
29ඔව්හු මෙසේ කා බොහෝසේ තෘප්තියට පැමිණියෝය;
ඔවුන් ආශාවූ දේ උන්වහන්සේ ඔවුන්ට දුන්සේක.
30ඔවුන්ගේ ආශාව සංසිඳෙන්ට ප්‍රථම, කෑම ඔවුන්ගේ කටේ තිබියදීම,
31දෙවියන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව හටගෙන, ඔවුන්ගෙන් ඉතා පුෂ්ටිමත්වූවන් නසා, ඉශ්‍රායෙල්ගේ තරුණයන්ට පහරදුන්සේක.
32මේ සියල්ල සිදුවුවත් ඔව්හු තවත් පව්කළෝය, උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා විශ්වාස නොකළෝය.
33එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ දවස් නිෂ්ඵලකමෙන්ද ඔවුන්ගේ අවුරුදු භීතියෙන්ද ගෙවෙන්ට සැලැස්වූසේක.
34උන්වහන්සේ ඔවුන් මැරූ කල ඔව්හු උන්වහන්සේ ගැන විචාළෝය.
ඔව්හු හැරී අප්‍රමාදව දෙවියන්වහන්සේ සෙවුවෝය.
35දෙවියන්වහන්සේ තමුන්ගේ පර්වතය බවත් මහෝත්තම දෙවියන්වහන්සේ තමුන්ගේ මිදුම්කාරයාණන් බවත් ඔව්හු සිහිකළෝය.
36නුමුත් ඔව්හු කටින් උන්වහන්සේට චාටුකළෝය, දිවෙන් උන්වහන්සේට බොරු කීවෝය.
37මක්නිසාද ඔවුන්ගේ සිත් උන්වහන්සේ කෙරෙහි ස්ථිර නොවීය, උන්වහන්සේගේ ගිවිසුමට ඔව්හු විශ්වාසව නොසිටියෝය.
38නුමුත් අනුකම්පාවෙන් යුක්තවූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම කමා කළසේක, ඔවුන් විනාශ නොකළ සේක.
එසේය, උන්වහන්සේ නොයෙක්විට තමන්ගේ කෝපය ඉවත හරවා, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට නුදුන්සේක.
39ඔවුන් මාංසයම බවත් පහව යන්නාවූ නැවත නොඑන්නාවූ හුළඟක් බවත් සිහිකළසේක.
40කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝද, කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද!
41ඔව්හු නැවත හැරී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උදහස්කළෝය.
42ඔව්හු උන්වහන්සේගේ හස්තයවත්, උන්වහන්සේ සතුරාගෙන් තමුන් මුදාගත් දවසවත්,
43මිසර දේශයේදී ස්වකීය හාස්කම් සහ ශෝවාන් කෙතේදී ආශ්චර්යයන් කළ හැටිවත් සිහි නොකළෝය.
44බොන්ට බැරි ලෙස උන්වහන්සේ ඔවුන්ගේ ගංගාද දිය පාරවල්ද ලේ කළසේක.
45උන්වහන්සේ ඔවුන් අතරට නාස්ති කරන මැසි රංචුද විනාශකරන මැඩියන්ද යැවූසේක.
46ඔවුන්ගේ භෝග දළඹුවන්ටත් ඔවුන්ගේ ගොවිතැන් පළඟැටියන්ටත් දුන්සේක.
47ඔවුන්ගේ මිදිවැල් ගල් වැස්සෙන්ද අත්තික්කා ගස් තුෂාරයෙන්ද විනාශ කළසේක.
48උන්වහන්සේ ඔවුන්ගේ ගවයන් ගල් වැස්සටත් සිව්පා රැළවල් හෙණගින්නටත් පාවාදුන්සේක.
49උන්වහන්සේ විපත්ති දායක දූත සමූහයක් වන දැඩි රෝෂය සහ උදහසත් කෝපය සහ දුකත් ඔවුන් පිට හෙළූසේක.
50උන්වහන්සේ ස්වකීය කෝපයට මාවතක් සෑදූසේක;
ඔවුන්ගේ ප්‍රාණය මරණයෙන් නොවලක්වා, ඔවුන්ගේ ජීවිතය වසංගතයට භාර කළසේක;
51හාම්ගේ කූඩාරම්වල සිටි ඔවුන්ගේ ශක්තියේ ප්‍රථමඵලවූ මිසරයේ සියලු කුලුඳුලන්ට පහරදුන්සේක.
52නුමුත් උන්වහන්සේ ස්වකීය සෙනඟ බැටළුවන් මෙන් පිටතට ගෙනගොස්, බැටළු රැළක් මෙන් වනාන්තරයේදී ඔවුන්ට මගපෙන්වූසේක.
53උන්වහන්සේ ඔවුන් සුරැකිකොට ගෙන ගිය බැවින් ඔව්හු භයනුවූවෝය.
නුමුත් මුහුද ඔවුන්ගේ සතුරන් වසා ගත්තේය.
54උන්වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයේ සීමාවට එනම් තමන් දකුණතින් ගත් මේ කන්දට ඔවුන් ගෙනාසේක.
55ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක.
56එසේවී නුමුත් ඔව්හු මහෝත්තමයාණන්වූ දෙවියන්වහන්සේ පරීක්ෂා කරමින්, උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝය, උන්වහන්සේගේ ශික්ෂා රක්ෂා නොකළෝය.
57තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ආපසු හැරී ද්‍රෝහි ලෙස ක්‍රියාකළෝය. හොර දුන්නක් මෙන් වැරදි අතට හැරුණෝය.
58මක්නිසාද ඔව්හු තමුන්ගේ උස්තැන්වලින් උන්වහන්සේ කෝපයට පැමිණෙවුවෝය, තමුන්ගේ කැපූ රූපවලින් උන්වහන්සේගේ ජ්වලිතය ඇවිස්සුවෝය.
59දෙවියන්වහන්සේ මේ අසා උදහස්වූසේක, ඉශ්‍රායෙල් ඉතා පිළිකුල්කළසේක.
60මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයන් අතරේ තමන් පිහිටෙවු කූඩාරම වන ෂීලෝහි මණ්ඩපය අත්හැරදමා,
61ස්වකීය ශක්තිය වහල්කමටත් ස්වකීය මහිමය එදිරිකාරයාගේ අතටත් පාවාදුන්සේක.
62ස්වකීය සෙනඟ කඩුවට භාරදුන්සේක;
ස්වකීය උරුමයට උදහස්වූසේක.
63ගින්න ඔවුන්ගේ තරුණයන් නාස්ති කෙළේය;
ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීයක් නොවීය.
64ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටුණෝය;
ඔවුන්ගේ වැන්දඹුවෝ නොවැලපුණෝය.
65එවිට ස්වාමීන්වහන්සේ නින්දෙන් පිබිදි අයෙකු මෙන්ද මුද්‍රික පානය බී ඝෝෂාකරන බලවන්තයෙකු මෙන්ද පිබිදිසේක.
66උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ට ගසා ආපසු එළවා, ඔවුන් නිරන්තර නින්දාවකට පත්කළසේක.
67උන්වහන්සේ යෝසෙප්ගේ කූඩාරම එපාකළසේක, එප්‍රායිම් ගෝත්‍රය තෝරා නොගත්සේක;
68නුමුත් යූදා ගෝත්‍රය, තමන් ප්‍රේමකළ සියොන් කන්ද, තෝරාගත්සේක.
69උන්වහන්සේ උස්වූ ස්ථාන මෙන්ද සදාකාලේට තමන් පිහිටෙවු පොළොව මෙන්ද ස්වකීය ශුද්ධස්ථානය ගොඩනැගූ සේක.
70උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවූ දාවිත් තෝරාගෙන, බැටළු ගාල්වලින් ඔහු ගත්සේක.
71උන්වහන්සේ තමන්ගේ සෙනඟවූ යාකොබ් සහ ස්වකීය උරුමයවූ ඉශ්‍රායෙල් පෝෂණයකරන පිණිස කිරි දෙන බැටළු දෙනුන් අනුව යාමෙන් ඔහු ගත්සේක.
72මෙසේ ඔහු තමාගේ සිතේ සත්‍ය‍තාවෙන් ඔවුන් පෝෂණය කළේය;
තමාගේ අත්වල සමර්ථකමෙන් ඔවුන්ට මගපෙන්විය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy