YouVersion Logo
Search Icon

ගීතාවලිය 74

74
අත්හරිනු ලැබූ සෙනඟගේ විලාපය
ආසාප් විසින් ලියූ අනුශාසනාවකි.
1දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද?
ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?
2ඔබ පුරාණ කාලයේදී මිලේට ගත්තාවූ, ඔබගේ උරුම-ගෝත්‍රය වන පිණිස මුදාගත්තාවූ ඔබගේ සභාවද ඔබ විසූ සියොන් කන්දද සිහිකළ මැනව.
3ශුද්ධස්ථානයෙහි සතුරා විසින් කර තිබෙන මුළු හානිය වන නිරන්තර විනාශයන් කරා ඔබගේ පාද නගා අවමැනව.
4ඔබගේ එදිරිකාරයෝ ඔබගේ සභා මධ්‍යයෙහි ගර්ජනාකළෝය;
ලකුණු පිණිස තමුන්ගේ කොඩි එසෙවුවෝය.
5ඔව්හු මූකළානේදී පොරෝ ඔසවන්නන් මෙන් පෙනුණෝය.
6දැන් ඔව්හු පොරොවෙන් හා මිටිවලින් එහි කැටයම් වැඩ සහමුලින්ම කඩා දමති.
7ඔව්හු ඔබගේ ශුද්ධස්ථානය ගිනිලෑවෝය;
ඔබගේ නාමයේ නිවාසය බිම හෙළා දූෂණයකළෝය.
8සහමුලින්ම ඔවුන් විනාශ කරන්නෙමුයයි ඔව්හු සිතින් කීවෝය.
දේශයෙහි දෙවියන්වහන්සේගේ සිනගෝග සියල්ල පුලුස්සාදැමූය.
9අපේ ලකුණු අපට නොපෙනෙයි.
අනාගතවක්තෘ කෙනෙක් තවත් නැත්තේය;
කොතෙක් කල්දැයි දන්නාවූ කිසිවෙකුත් අප අතරෙහි නැත.
10දෙවියන්වහන්ස, එදිරිකාරයා නින්දා කරන්නේ කොපමණ කල්ද?
සතුරා ඔබගේ නාමයට සදාකල් අපහාසකරන්නේද?
11ඔබගේ අත, එසේය ඔබගේ දකුණත, කුමක් නිසා නවතනසේක්ද?
එය ඔබගේ ළයෙන් ඉවත ගෙන ඔවුන් විනාශකළ මැනව.
12පොළෝ මැද ගැළවීම සිදුකරන දෙවියන්වහන්සේ පුරාතන සිට මාගේ රජ්ජුරුවෝය.
13ඔබ ස්වකීය ශක්තියෙන් මුහුද බෙදූසේක.
ඔබ ජලයෙහි මහා සත්වයන්ගේ හිස් බින්දසේක.
14ඔබ ලෙවියාතන්ගේ හිස පොඩිකොට, වනයෙහි වාසයකරන සෙනඟට භෝජන පිණිස දුන්සේක.
15ඔබ උල්පතට හා ජලධාරාවටත් මාර්ගය දැදුරුකළසේක.
මහත් ගංගා වියළවූසේක.
16දිවාභාගය ඔබගේය, රාත්‍රියත් ඔබගේය.
ඔබ ආලෝකයද සූර්යයාද පිළියෙළකළසේක.
17ඔබ පොළොවේ සියලු සීමා පිහිටෙවුසේක.
ග්‍රීෂ්ම කාලයද ශීත කාලයද සෑදූසේක.
18 ස්වාමිනි, සතුරා නින්දාකළ බවත් අඥාන සෙනඟක් ඔබගේ නාමයට අපහාසකළ බවත් සිහිකළ මැනව.
19ඔබගේ කොබෙයියාගේ ප්‍රාණය වනමෘගයාට නුදුන මැනව.
ඔබගේ අසරණ රැළ සදාකාලේටම සිහිනැති නොකළ මැනව.
20ගිවිසුම සැලකුව මැනව.
මක්නිසාද පොළොවේ අඳුරු තැන් බලාත්කාරයේ වාසස්ථානවලින් පිරී තිබේ.
21පීඩා ලත් තැනැත්තේ ලජ්ජාවී ආපසු නොඒවා, දුප්පතාද දිළිඳාද ඔබගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා.
22දෙවියන්වහන්ස, නැගිට ඔබගේ යුක්තිය කියා සිටිය මැනව.
අඥානයා දවස මුළුල්ලේ ඔබට නින්දා කරන හැටි සිහිකළ මැනව.
23ඔබගේ විරුද්ධකාරයන්ගේ ශබ්දය සිහිනැති නොකළ මැනව.
ඔබට විරුද්ධව නැගිටින්නන්ගේ කෝලාහල ශබ්දය නිතර නැඟේ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy