YouVersion Logo
Search Icon

ගීතාවලිය 22

22
දේවසේවකයාගේ දුක්විඳීම
නායක වාද්‍යකරුටයි; අලුයමේ මුව දෙන නම්වූ වෘත්තයයි. දාවිත්ගේ ගීතයකි.
1මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද? මට පිහිට නොවී, මාගේ මොරගැසීමේ වචනවලින් මෙසේ දුරුව සිටින්නේ මක්නිසාද?
2මාගේ දෙවියනි, දාවල් ඔබට හඬ ගසමි, එහෙත් ඔබ උත්තර නොදෙනසේක;
රාත්‍රියේද නිශ්ශබ්දව නොසිටිමි.
3නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.
4අපේ පියවරු ඔබ කෙරෙහි විශ්වාස කළෝය.
ඔව්හු විශ්වාසකළෝය, ඔබද ඔවුන් මිදූසේක.
5ඔව්හු ඔබට හඬගැසුවෝය, මුදනු ලැබුවෝය;
ඔබ කෙරෙහි විශ්වාසකළෝය, ලජ්ජානුවූවෝය.
6මම නම් මනුෂ්‍යයෙක් නොව පණුවෙක්මි;
මිනිසුන් අතරෙහි නින්දිතයෙක්මි, සෙනඟ විසින් හෙළාදක්නා ලද්දෙක්මි.
7මා දකින සියල්ලෝම මට කවටකම් කෙරෙති.
ඔව්හු තොල් දික්කරමින්, හිස වනමින්:
8 ස්වාමීන්ට භාරවෙව;
උන්වහන්සේ ඔහු මුදනසේක්වා;
උන්වහන්සේ ඔහු කෙරෙහි ප්‍රසන්න බැවින් ඔහු මුදනසේක්වයි කියති.
9එහෙත් මවු කුසින් මා බිහිකළ තැනන්වහන්සේ ඔබමය;
මාගේ මවුගේ ළයෙහි හුන්කල ඔබ මා විශ්වාසයෙන් සිටින්ට සැලැස්සූසේක.
10මවු ගැබෙහි පටන් ඔබගේ ආරක්ෂාවට භාරදෙනු ලදිමි, මාගේ මවගේ කුසෙහි පටන් මාගේ දෙවියන්වහන්සේ ඔබය.
11මා කෙරෙන් දුරුනූව මැනව;
මක්නිසාද දුක ළඟය;
පිහිටවෙන්ට කිසිවෙක් නැත්තේය.
12බොහෝ ගොන්නු මා වටකර සිටිති.
බාෂාන්හි සවි ඇති ගොන්නු මා වටලා සිටිති.
13ගොදුරුකමින් ගොරවන සිංහයෙකුමෙන් ඔව්හු මා දෙස බලා කට අරිති.
14මම වතුර මෙන් වැගිරයෙමි, මාගේ ඇට සියල්ල අවසන්ධිවේ.
මාගේ සිත ඉටි මෙන් වේ;
එය මා තුළෙහි උණුවී තිබේ.
15මාගේ සවිය කැබිලිත්තක් මෙන් වියළී තිබේ;
මාගේ දිවද තල්ලේ ඇලෙයි;
ඔබ මා මරණ ධූලියට ගෙනාසේක.
16මක්නිසාද බල්ලෝ මා වටකළෝය.
නපුරන් රැළ මා වටලා ගත්තුය;
ඔව්හු මාගේ අත්පා සිදුරුකළෝය.
17මාගේ ඇට සියල්ල ගණන්කළ හැක්කෙමි;
ඔව්හු මා දෙස රවා බලති.
18මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති, මාගේ සළුව පිණිස පසඇට දමති.
19නුමුත්, ස්වාමිනි, ඔබ දුරුනූව මැනව.
මාගේ බලය වන ඔබ, මට පිහිට වෙන්ට ඉක්මන්වුව මැනව.
20මාගේ ප්‍රාණය කඩුවෙන්ද මාගේ ප්‍රිය ප්‍රාණය බල්ලාගේ බලයෙන්ද මිදුව මැනව.
21සිංහයාගේ මුඛයෙන් මා ගැළවුව මැනව;
එසේය, වල් ගොනුන්ගේ අං අතරෙහිවූ මට ඔබ උත්තරදුන්සේක.
22ඔබගේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශකරන්නෙමි, සභා මධ්‍යයෙහි ඔබට ප්‍රශංසාකරන්නෙමි.
23 ස්වාමින් කෙරෙහි භය ඇත්තෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්;
යාකොබ් වංශයේ සියල්ලෙනි, උන්වහන්සේට ගෞරවකරව්;
ඉශ්‍රායෙල් වංශයේ සියල්ලෙනි, උන්වහන්සේ කෙරෙහි භයින් සිටිව්.
24මක්නිසාද උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළසේක, එය පිළිකුල්කොට නොසිතූසේක;
ඔහු කෙරෙන් තමන් මුහුණ සඟවා නොගත්සේක;
ඔහු හඬගැසූ කල උන්වහන්සේ ඇසූසේක.
25මහත් සභාවේදී මාගේ ප්‍රශංසාව පැමිණෙන්නේ ඔබ කෙරෙන්ය.
උන්වහන්සේට භයවෙන්නන් ඉදිරියේ මාගේ භාර ඉෂ්ටකරන්නෙමි.
26යටහත් සිත් ඇත්තෝ අනුභවකොට තෘප්තියට පැමිණෙන්නාහුය.
ස්වාමීන් සොයන්නෝ උන්වහන්සේට ප්‍රශංසාකරන්නාහුය.
නුඹලාගේ සිත සදාකල් ජීවත්වේවා.
27පොළොවේ සියලු සීමාවෝ සිහිකරමින් ස්වාමීන් වෙතට හැරෙන්නෝය.
ජාතීන්ගේ සියලු ගෝත්‍රයෝ ඔබ ඉදිරියෙහි නමස්කාරකරන්නෝය.
28මක්නිසාද රාජ්‍යය ස්වාමීන්වහන්සේගේය.
උන්වහන්සේ ජාතීන් කෙරෙහි ආණ්ඩුකාරයාණෝය.
29පොළොවේ පුෂ්ටිමත් සියල්ලෝ අනුභවකොට නමස්කාරකරන්නාහුය.
ධූලියට බසින්නෝ, එනම් තමුන්ගේ දිවි රැකගත නොහැකි අය, උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නාහුය.
30වංශයක් උන්වහන්සේට මෙහෙකරන්නේය;
මතු පරම්පරාවට ස්වාමීන් ගැන එපවත් කියනු ලබන්නේය.
31ඔව්හු පැමිණ උන්වහන්සේ මෙසේ කළසේක කියා මතු උපදින සෙනඟකට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නාහුය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy