YouVersion Logo
Search Icon

හිතෝපදේශ 21

21
1රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී;
උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.
2මනුෂ්‍යයෙකුගේ සියලු මාර්ග තමාගේම ඇසට හරිව පෙනෙයි;
එහෙත් ස්වාමීන්වහන්සේ සිත් කිරාබලනසේක.
3පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීම ස්වාමීන්වහන්සේට ප්‍රියව තිබේ.
4අහංකාර බැල්මද උඩඟු සිතද යන දුෂ්ටයන්ගේ පහන පාපයය.
5කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ;
එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.
6බොරුකාර දිවකින් වස්තු ලබාගැන්ම හුළඟට ගසාගනයන දුමාරයක්ය;
ඒවා මරණයේ මලපත්ය.
7දුෂ්ටයෝ යුක්තිය කිරීමට අකැමැති නිසා තමුන්ගේ බලාත්කාරකමෙන් බැහැර කරනු ලබන්නෝය.
8වරදෙන් බරවූ අයගේ මාර්ගය ඉතා ඇදය;
එහෙත් පිරිසිදු අයගේ ක්‍රියාව සෘජුය.
9ඩබරකාර ස්ත්‍රියෙකු සමඟ පොදු ගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදීම හොඳය.
10දුෂ්ටයාගේ ආත්මය නපුරට ආශාවන්නේය;
ඔහුගේ අසල්වාසියාට ඔහුගේ ඇස් හමුවෙහි කරුණාව නොලැබේ.
11නින්දාකරන්නාට දඬුවම් ලැබෙන විට නුවණ නැත්තා ප්‍රඥාවන්ත වේ.
ප්‍රඥාවන්තයාට දැනමුතුකම් දෙන විට ඔහු දැනගැන්ම ලබයි.
12ධර්මිෂ්ඨ තැනන්වහන්සේ දුෂ්ටයාගේ වංශය ගැන කල්පනාකරනසේක;
උන්වහන්සේ දුෂ්ටයන් විපතට හෙළාදමනසේක.
13දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.
14රහසින් දෙන තෑග්ගකින් උදහසද ඔඩොක්කුවට දෙන දීමනාවකින් තද කෝපයද සන්සිඳෙයි.
15යුක්තිය කිරීම ධර්මිෂ්ඨයාට ප්‍රීතියක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.
16ප්‍රඥාවේ මාර්ගයෙන් මුළාවයන මනුෂ්‍යයා මළවුන්ගේ සමාගමේ වසන්නේය.
17සැප සෙල්ලමට ඇලුම්වෙන්නා හිඟමනට පැමිණෙයි;
මුද්‍රිකපානයටත් තෙලටත් ඇලුම්වෙන්නා පොහොසත් නොවන්නේය.
18දුෂ්ටයා ධර්මිෂ්ඨයා උදෙසා මිදීමේ මිලයක්ය;
අවංක අය වෙනුවට ද්‍රෝහියා පැමිණෙයි.
19ඩබරකාරවූ තරහ ගති ඇති ස්ත්‍රියෙක් සමඟ විසීමට වඩා කාන්තාර දේශයක සිටීම හොඳය.
20අනර්ඝ වස්තුවද තෙල්ද ප්‍රඥාවන්තයාගේ නිවසෙහි ඇත;
එහෙත් අඥානයා ඒවා ගිලදමයි.
21ධර්මිෂ්ඨකමද කරුණාවද අනුව යන්නාට ජීවිතයද ධර්මිෂ්ඨකමද ගෞරවයද ලැබේ.
22ප්‍රඥාවත්තෙම බලවතුන්ගේ නුවරට නැගී, ඔවුන් විශ්වාසකරන බලය හෙළා දමන්නේය.
23තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්තිවලින් රැකගන්නේය.
24උඩඟු අහංකාර අයගේ නම නින්දාකරන්නාය, ඔහු අහංකාර මානයෙන් ක්‍රියාකරන්නේය.
25අලසයාගේ ආශාව ඔහු මරයි;
මක්නිසාද ඔහුගේ අත් වැඩකරන්ට අකැමැතිය.
26දවස මුළුල්ලේ ගිජුලෙස ආශාවන්නෙක් ඇත;
එහෙත් ධර්මිෂ්ඨයා නොවලක්වා දෙන්නේය.
27දුෂ්ටයාගේ පූජාව පිළිකුලක්ය;
ඔහු එය ප්‍රයෝග සිතින් ගෙනෙන විට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?
28බොරු සාක්ෂිකාරයා විනාශවන්නේය;
එහෙත් ඇහුම්කන්දෙන්නා අවහිරයක් නැතුව කථාකරන්නේය.
29දුෂ්ටයා තමාගේ මුහුණ දැඩිකරගනියි;
එහෙත් අවංක තැනැත්තා තමාගේ මාර්ගය කල්පනාකර බලයි.
30 ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.
31අශ්වයා යුද්ධ දවසට සැදී සිටියි;
එහෙත් ජය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy