YouVersion Logo
Search Icon

හිතෝපදේශ 14:13-29

හිතෝපදේශ 14:13-29 SROV

සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ; ප්‍රීතියේ කෙළවරද ශෝකයය. සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි. නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි. ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත්වෙයි; එහෙත් අඥානයා උඩඟුකම් පාමින් සැක නැතුව සිටියි. ඉක්මනින් කිපෙන්නා අඥානලෙස ක්‍රියාකරයි; දුෂ්ට උපා යොදන්නාද වෛරය ලබයි. නුවණ නැත්තන්ට මෝඩකම උරුම වන්නේය; එහෙත් බුද්ධිමත්හු දැනගැන්ම නමැති ඔටුන්න පැළඳගනිති. නපුරෝ යහපතුන් ඉදිරියෙහිද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයාගේ දොරටු ළඟද වැඳ වැටෙති. දිළින්දාට තමාගේ අසල්වාසියා පවා වෛරකරයි; එහෙත් වස්තුකාරයාට මිත්‍රයෝ බොහෝය. තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය. නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැබෑකමද ලැබෙන්නේය. සියලු වැඩවලින් ලාභ උපදියි; එහෙත් තොල්වල කථාවෙන් පැමිණෙන්නේ හිඟකම පමණක්ය. ප්‍රඥාවන්තයන්ගේ වස්තුව ඔවුන්ට ඔටුන්නක්ය; එහෙත් අඥානයන්ගේ උතුම්කම නම් මෝඩකමය. සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය; එහෙත් බොරු කියන්නෙක් වංචාව නික්මවයි. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්ය. රජුගේ මහන්තත්වය නම් සෙනඟ රාශියක් ඇතිවීමය; එහෙත් සෙනඟ අඩුකම අධිපතියාට හානියක්ය. කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 14:13-29