YouVersion Logo
Search Icon

පිලිප්පි 3

3
පේරිත තැනගේ ජාතික අයිතිවාසිකම් ක්‍රිස්තුස්වහන්සේ නිසා නොසලකා හැරීම
1ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය. 2බල්ලන්ගෙන් ප්‍රවේසම්වෙන්න, නපුරු ක්‍රියාකාරයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඡේද්‍යකරන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න. 3මක්නිසාද චර්මඡේදිතයෝ නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන නමස්කාරකරන්නාවූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටුකරගන්නාවූ, මාංසය තුළ විශ්වාසයක් නැත්තාවූ අපිය. 4ඕනෑ නම් මට මාංසය කෙරෙහි පවා විශ්වාසය තබන්ට පුළුවන. වෙන යමෙක් මාංසය කෙරෙහි තමාට විශ්වාසය තබන්ට පුළුවනැයි සිතන්නේ නම්, මට ඊට වඩා පුළුවන. 5අටවෙනිදා චර්මඡේදිතවූයෙමි, ඉශ්‍රායෙල් වංශයේ, බෙන්යමින්ගේ ගෝත්‍රයේ කෙනෙක්මි, හෙබ්‍රෙව්වරුන්ගෙන් හෙබ්‍රෙව්වෙක්මි; ව්‍යවස්ථාව ගැන නම්, එරිසියෙක්මි; 6ජ්වලිතකම ගැන නම්, සභාවට පීඩාකෙළෙමි; ව්‍යවස්ථාවෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ගැන නම්, නිර්දෝෂව සිටියෙමි. 7එසේවී නුමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස්වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි. 8එසේය, මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්, 9ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ටකම නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්, 10යම් අන්දමකින් මළවුන්ගෙන් නැගිටීමට පැමිණෙන ලෙස, 11උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත–නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිසත්ය.
පසු නොබැස ඉදිරියට යන්ටද ඒ පිණිස මාංසික තෘෂ්ණා වලක්වාගන්ටද ඕනෑ බව
12මා දැනට ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත්සේක්ද, ඒක අල්ලාගන්ට වීර්යකරමින් මමත් දුවගනයමි. 13සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, 14ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි. 15එබැවින් අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිද්ද, ඔව්හු ඒ ආකාරයෙන් කල්පනා කරත්වා. නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තාහු නම්, ඒකත් දෙවියන්වහන්සේ නුඹලාට එළිදරව්කරනවා ඇත. 16නුමුත් අපි යම් ස්වභාවකට පැමිණ සිටිමුද, ඒ ප්‍රකාරයට හැසිරෙමුව.
17සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙන්න. අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම් සේද, එසේ හැසිරෙන්නන් බලාගන්න. 18මක්නිසාද, මා නුඹලාට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්, බොහෝදෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට සතුරෝව හැසිරෙති. 19ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය. 20නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව. 21සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy