ගණන් කථාව 36
36
උරුමක්කාරියන් සම්බන්ධ නීතිය
1යෝසෙප් පුත්‍රයන්ගේ වංශවලින් මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද් පුත්‍රයන්ගේ වංශයේ පිය පෙළපත්වල ප්‍රධානියෝ අවුත් මෝසෙස් ඉදිරියෙහිද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීන්ව සිටි අධිපතීන් ඉදිරියෙහිද කථාකොට: 2දේශය උරුමයක් කොට පසඇට දැමීමෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ අපේ ස්වාමිතුමාට අණකළසේක. අපේ ස්වාමිතුමා අපේ සහෝදරවූ ශෙලෝඵෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේගෙන් අණ ලැබීය. 3ඉදින් ඔවුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වෙන ගෝත්‍රවල පුත්‍රයන්ගෙන් කිසිවෙකුට විවාහවූවොත් ඔවුන්ගේ උරුමය අපේ පියවරුන්ගේ උරුමයෙන් පහවී ඔවුන් අයිතිවන ගෝත්‍රයේ උරුමයට එක් කරනු ලබනවා ඇත. මෙසේ ඒක අපේ උරුම කොටසින් පහවන්නේය. 4මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ජුබිලිය පැමිණි කල්හි ඔවුන්ගේ උරුමය ඔවුන් අයිතිවන ගෝත්‍රයේ උරුමයට එක් කරනු ලැබ අපේ පියවරුන්ගේ ගෝත්‍රයේ උරුමයෙන් පහවේයයි කීවෝය. 5මෝසෙස් ස්වාමීන්වහන්සේගේ වචනය හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකොට: යෝසෙප් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ අය කියනවා හරිය. 6ස්වාමීන්වහන්සේ ශෙලෝඵෙහාද්ගේ දූවරුන් ගැන අණකර තිබෙන කාරණාව මේය–ඔව්හු තමුන් කැමති තැනැත්තන් සමඟ විවාහ වෙත්වා; එහෙත් ඔවුන් විවාහ විය යුතු තමුන්ගේ පියාගේ ගෝත්‍රයේ වංශයක තැනැත්තන් සමඟ පමණක්ය. 7මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමයක් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොයන්නේය. මක්නිසාද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රයේ උරුමයට බැඳී සිටිත්වා. 8ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තම තමුන්ගේ පියවරුන්ගේ උරුමය හිමිවෙන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කිසි ගෝත්‍රයක උරුමයක් ලබන එක එක දුව ඇගේ පිය ගෝත්‍රයේ වංශයක කෙනෙකුගේ භාර්යාව වේවා. 9මෙසේ උරුමයක් එක ගෝත්‍රයකින් වෙන ගෝත්‍රයකට මාරු නොවන්නේය; මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රයන් තම තමුන්ගේ උරුමයටම බැඳී සිටිනවා ඇතැයි කීවේය. 10ශෙලෝඵෙහාද්ගේ දූවරු ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙසම කළෝය. 11මෙසේ ශෙලෝඵෙහාද්ගේ දූවරුන්වූ මාලාද තිර්ශාද හොග්ලාද මිල්කාද නෝවාද යන මොව්හු තමුන්ගේ පියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් සමඟ විවාහ වූහ. 12ඔව්හු යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ පුත්‍රයන්ගේ වංශවල අය සමඟ විවාහ වූවෝය, ඔවුන්ගේ උරුමයද ඔවුන්ගේ පිය වංශයේ ගෝත්‍රයෙහිම පැවතුණේය.
13 ස්වාමීන්වහන්සේ යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකෙරෙවූ ආඥාද විනිශ්චයවල්ද මේවාය.
Currently Selected:
ගණන් කථාව 36: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society