YouVersion Logo
Search Icon

ගණන් කථාව 29

29
1සත්වෙනි මාසයේ පළමුවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න. ඒක නුඹලාට හොරණෑ පිඹීමේ දවසක්ය. 2ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස ඔවුන්ගේ නියෝගය ලෙස අමාවක දවසේ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද, 3නිරන්තර දවන පූජාව සහ ආහාර පූජාවද ඒවායේ පාන පූජාද ඇර ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස දවන පූජාවක්කොට කැලල් නැති තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද, 4උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, 5බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද, 6නුඹලා උදෙසා සමඟිකමක් කරන පිණිස පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරන්න.
7මේ සත්වෙනි මස දසවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වා කිසි ආකාර වැඩක් නොකර දුක් විලාසයෙන් සිටින්න. 8එහෙත් සමඟිකමක් කිරීමේ පාප පූජාව සහ නිරන්තර දවන පූජාවත් ඒකේ ආහාර පූජාවත් ඒවායේ පාන පූජාවලුත් ඇර, 9ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති දවන පූජාවක් කොට කැලල් නැති එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළු පැටවුන් සත් දෙනෙක්ද රැගෙන, 10උන් සහ උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, 11බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
12සත්වෙනි මස පසළොස්වෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න, සත් දවසක් ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න. 13නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් පිණිස, 14කැලල් නැති තරුණ ගොන් දහතුන් දෙනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 15උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් ගොන් දහතුන් දෙනාගෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද බැටළුවන් දෙන්නාගෙන් එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, 16බැටළුපැටවුන් දසසතර දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
17දෙවෙනි දවසේ නිරන්තරවූ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාද ඇර, 18කැලල් නැති තරුණ ගොන් දොළොස් දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 19ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
20තුන්වෙනි දවසේ නිරන්තරවූ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, 21කැලල් නැති ගොන් එකොළොස් දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 22ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එළුවෙක්ද ඔප්පුකරන්න.
23සතරවෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, 24කැලල් නැති ගොන් දස දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 25ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාවද පාප පූජාවක් පිණිස එළුවෙක්ද ඔප්පුකරන්න.
26පස්වෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, 27කැලල් නැති ගොන් නවදෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 28ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එළුවෙක්ද ඔප්පුකරන්න.
29සවෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, 30කැලල් නැති ගොන් අට දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 31ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
32සත්වෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, 33කැලල් නැති ගොන් සත්දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 34ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
35අටවෙනි දවසේ ගරුමය රැස්වීමක් පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. 36එහෙත් නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද පාන පූජාවද ඇර, 37ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට දවන පූජාවක් පිණිස කැලල් නැති එක ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද, 38ගොනාටත් බැටළුවාටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාවද පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
39නුඹලාගේ බාරවලටත් නුඹලාගේ ස්වෙච්ඡා පූජාවලටත් අඩංගුවන්නාවූ නුඹලාගේ දවන පූජාද ආහාර පූජාද පාන පූජාද ශාන්ති පූජාද ඇර මේවා නුඹලාගේ නියම මංගල්‍යවලදී ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න කියා ඔවුන්ට කියන්නැයි කීසේක. 40මෝසෙස්ද ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy