YouVersion Logo
Search Icon

ගණන් කථාව 23

23
බාලාම්ගේ අනාගතවාක්‍ය
1බාලාම් තෙමේ බාලාක්ට කථාකොට: මෙහි මට පූජාසන සතක් ගොඩනගා ගොන් සත්දෙනෙක්ද බැටළුවන් සත්දෙනෙක්ද පිළියෙළ කරන්නැයි කීවේය. බාලාක් තෙමේ බාලාම් කී ලෙස කෙළේය; 2බාලාක් සහ බාලාම් එක එක පූජාසනය පිට ගොනෙකු සහ බැටළුවෙකු බැගින් ඔප්පු කළෝය. 3බාලාම් බාලාක්ට කථාකොට: නුඹ නුඹේ දවන පූජාව ළඟ සිටින්න, මම යන්නෙමි; සමහරවිට ස්වාමීන්වහන්සේ මා සම්මුඛවෙන්ට එනසේක. උන්වහන්සේ මට පෙන්වන කොයි දෙයක් නුමුත් නුඹට දන්වන්නෙමියි කියා මුඩු හෙලකට ගියේය. 4දෙවියන්වහන්සේ බාලාම්ට සම්මුඛවූසේක. ඔහුද: මම පූජාසන සත පිළියෙළකොට එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් ඔප්පු කෙළෙමියි උන්වහන්සේට කීවේය. 5ස්වාමීන්වහන්සේ බාලාම්ගේ මුඛයෙහි වචනයක් තබා: බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක. 6බාලාම් ඔහු වෙතට හැරී ගියේය, බලව, ඔහුද මෝවබ්හි සියලු අධිපතීහුද ඔහුගේ දවන පූජාව ළඟ සිටියෝය. 7ඔහු උපමා කථා පවසමින් කියනුයේ:
ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාපකරන්න, ඇවිත් ඉශ්‍රායෙල්ට දෙස් කියන්නැයි කියා මෝවබ්හි රජවූ බාලාක් අරාමෙන්ද පෙරදිග්හි කඳුවලින්ද මා ගෙන්වුවේය.
8දෙවියන්වහන්සේ ශාපනොකළ අයට මම කෙලෙස ශාපකරම්ද?
ස්වාමීන්වහන්සේ දෙස් නොකිවු අයට කෙලෙස දෙස් කියම්ද?
9මක්නිසාද පර්වත මුදුනේ සිට ඔහු දකිමි, හෙල්වල සිට ඔහු බලමි.
බලව, ඔව්හු හුදකලාව වසන සෙනඟකි, ඔව්හු ජාතීන් අතරේ තමුන්ම ගණන්කර නොගන්නෝය.
10යාකොබ්ගේ ධූලි ගණන් කරන්ටවත් ඉශ්‍රායෙල්ගෙන් සතරෙන් කොටසක් ගණන්කරන්ටවත් කාට හැකිද?
මාගේ මරණය ධර්මිෂ්ඨයන්ගේ මරණය මෙන් වේවා.
මාගේ අන්තිමය ඔවුන්ගේ අන්තිමය මෙන් වේවායි
කීවේය. 11බාලාක්: නුඹ මට කළේ මොකද? මාගේ සතුරන්ට ශාපකරන්ට නුඹ ගෙන්වා ගත්තෙමි, එහෙත්, නුඹ ඔවුන්ට ආශීර්වාදම කෙළෙහියයි බාලාම්ට කීවේය. 12ඔහු උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ මාගේ මුඛයෙහි තබන දේම කියන්ට මා විසින් බලාගත යුතු නොවේදැයි කීවේය. 13බාලාක් ඔහුට කථාකොට: ඔවුන් දකින්ට පුළුවන් අන් තැනකට මා සමඟ එන්න; නුඹ ඔවුන් සියල්ලන් නොදැක ඔවුන්ගේ ඉතා ඈත කොටස පමණක් දක්නෙහිය. එහි සිට මා උදෙසා ඔවුන්ට ශාප කරන්නැයි කියා, 14ශොල්ඵිම් කෙතෙහි පිස්ගා මුදුනට ඔහු ගෙනගොස් පූජාසන සතක් ගොඩනගා එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය. 15ඔහු බාලාක්ට කථාකොට: මෙහි නුඹේ දවන පූජාව ළඟ සිටින්න, මම අරෙහේ ස්වාමීන්වහන්සේ සම්මුඛවන්නෙමියි කීවේය. 16ස්වාමීන්වහන්සේ බාලාම්ට සම්මුඛවී ඔහුගේ මුඛයෙහි වචනයක් තබා: නුඹ බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක. 17හෙතෙම ඔහු ළඟට ආවේය, බලව, ඔහුද ඔහු සමඟ මෝවබ්හි අධිපතීහුද ඔහුගේ දවන පූජාව ළඟ සිටියෝය. බාලාක්: ස්වාමීන්වහන්සේ කුමක් කීසේක්දැයි ඔහුගෙන් ඇසුවේය. 18ඔහු උපමා කථා පවසමින් කියනුයේ:
බාලාක්, නැගිට අසන්න;
ශිප්පෝර්ගේ පුත්‍රය, කන් යොමුකරන්න.
19බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක.
උන්වහන්සේ කී දේ නොකරනසේක්ද?
උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?
20බලව, ආශීර්වාදකරන්ට අණ ලැබීමි.
උන්වහන්සේ ආශීර්වාදකළසේක, මට එය වෙනස්කරන්ට නොහැක්කේය.
21උන්වහන්සේ යාකොබ් කෙරෙහි අයුතුකමවත් ඉශ්‍රායෙල් කෙරෙහි දූෂ්‍යකමවත් නුදුටුසේක.
ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින සේක, ඔවුන් අතරේ රජෙකුගේ ජය ඝෝෂාව ඇත්තේය.
22දෙවියන්වහන්සේ ඔවුන් මිසරයෙන් ගෙන එනසේක;
ඔහුට කුළුහරකා මෙන් ශක්තිය ඇත්තේය.
23සැබවින් යාකොබ්ට විරුද්ධව ශාස්ත්‍රකීමක්වත් ඉශ්‍රායෙල්ට විරුද්ධව පේනකීමක්වත් නැත.
දැනුදු යාකොබ් සහ ඉශ්‍රායෙල් ගැන:
දෙවියන්වහන්සේ කොපමණ දේ ඉෂ්ටකර තිබේද!
කියා කියනු ලැබේ.
24බලව, ඒ සෙනඟ සිංහධේනුවක් මෙන් නැගිටියි, සිංහයෙකු මෙන් තමාම උසස්වෙයි. ඔහු ගොදුරු කන තෙක්ද මැරුම්කන්නන්ගේ ලේ බොන තෙක්ද නොලගින්නේයයි
කීවේය. 25බාලාක් බාලාම්ට කථාකොට: ඔවුන්ට කොහෙත්ම ශාපවත් ආශීර්වාදවත් නොකරන්නැයි කීවේය. 26එහෙත් බාලාම් බාලාක්ට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ මට කියන සියල්ල මා විසින් කළ යුතුයයි නුඹට නොකීයෙම්දැයි කීවේය. 27බාලාක්ද: එන්න, වෙන තැනකට නුඹ ගෙනයන්නෙමි; එතැන සිට මා උදෙසා ඔවුන්ට ශාප කරනවාට දෙවියන්වහන්සේ සමහරවිට ප්‍රසන්නවනසේකැයි බාලාම්ට කියා, 28කාන්තාරය ඉදිරිපිට පෙනෙන පෙයෝර් මුදුනට බාලාම් ගෙනගියේය. 29බාලාම්ද: මෙහි පූජාසන සතක් මට ගොඩනගා ගොන් සත්දෙනෙක් සහ බැටළුවන් සත්දෙනෙක් මෙහි මට පිළියෙළකරන්නැයි බාලාක්ට කීවේය. 30බාලාක් බාලාම් කී ලෙස කොට එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy