YouVersion Logo
Search Icon

ගණන් කථාව 21

21
පිත්තල සර්පයා. බාෂාන අත්පත්කරගැනීම
1දකුණු දිසාවෙහි වාසයකළ කානානීයවූ අරද්හි රජ අතාරීම් මාර්ගයෙන් ඉශ්‍රායෙල්වරුන් එන බව අසා ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකොට ඔවුන්ගෙන් සමහරෙක් අල්ලාගත්තේය. 2ඉශ්‍රායෙල්වරුද ස්වාමීන්වහන්සේට භාරයක් වෙමින්: ඉදින් ඔබවහන්සේ මේ සෙනඟ මා අතට පාවාදෙනසේක්නම් මම ඔවුන්ගේ නුවරවල් මුළුමනින්ම විනාශකරන්නෙමියි කීය. 3ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ හඬට ඇහුම්කන්දී කානානිවරුන් ඔවුන්ට පාවාදුන්සේක; එවිට ඔව්හු ඔවුන් සහ ඔවුන්ගේ නුවරවල් සහමුලින්ම විනාශකළෝය. ඒ ස්ථානයට හොර්මා යන නම තබනලදී.
4ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය. 5සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය. 6ස්වාමීන්වහන්සේ සෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක, උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය. 7එබැවින් සෙනඟ මෝසෙස් ළඟට අවුත්: අපි ස්වාමීන්වහන්සේටත් නුඹටත් විරුද්ධව කථාකිරීමෙන් පව්කෙළෙමුව; ස්වාමීන්වහන්සේ අප වෙතින් සර්පයන් පහකරනලෙස උන්වහන්සේට යාච්ඤාකළමැනවියි කීවෝය. මෝසෙස් සෙනඟ උදෙසා යාච්ඤාකෙළේය. 8එවිට ස්වාමීන්වහන්සේ: නුඹ ගිනි සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තබන්න. දෂ්ටකරනු ලැබූ කවරෙක් නුමුත් ඒ දෙස බැලීමෙන් ජීවත්වන්නේයයි මෝසෙස්ට කීසේක. 9මෝසෙස් පිත්තල සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තැබීය. තවද යමෙක් සර්පයෙකු විසින් දෂ්ටකරනු ලද්දේනම් ඔහු පිත්තල සර්පයා දෙස බැලූ කල්හි ජීවත්වුණේය. 10පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට ඔබොත්හි කූඩාරම් ගසාගත්තෝය. 11ඔව්හු ඔබොත් සිට පිටත්ව ගොස් මෝවබ් රට ඉදිරිපිට නැගෙනහිරට තිබෙන කාන්තාරයේ ඉයේ-අබාරීම්හි කූඩාරම් ගසාගත්තෝය. 12එතැනින් ඔව්හු පිටත්ව ගොස් සෙරෙද් මිටියාවතේ කූඩාරම් ගසාගත්තෝය. 13එතැනින් ඔව්හු පිටත්ව ගොස් අමෝරිවරුන්ගේ සීමාවෙන් ගලායන්නාවූ, කාන්තාරයෙහි තිබෙන අර්ණොන් ගඟ එගොඩ කූඩාරම් ගසාගත්තෝය. අර්ණොන් වනාහි මෝවබ්වරුන් හා අමෝරිවරුන් අතරේ තිබෙන මෝවබ් රටේ සීමාවය. 14එබැවින් ස්වාමීන්වහන්සේගේ යුද්ධ පොතෙහි:
සූඵායේ වහෙබ්ද අර්ණොන් මිටියාවත්ද
15ආර් නිවසෙ දෙසට හැරීයන්නාවූ, මෝවබ් සීමාවට යාවූ, මිටියාවත්වල බෑවුමයයි
කියා තිබේ. 16එතැනින් ඔව්හු බෙයේර්ට ගමන්කළෝය. ඒ වනාහි: මා සෙනඟට වතුර දෙන පිණිස ඔවුන් රැස්කරන්නැයි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ස්ථානයෙහි තිබෙන ළිඳය.
17එවිට ඉශ්‍රායෙල්වරු මේ ගීතිකාව කියමින්:
එම්බා ළිඳ, වතුර නගව;
ඊට ගී කියව්.
18අධිපතීන් ජයකොන්තයෙන් හා තමුන් සැරයටිවලින් කැණුවාවූ,
සෙනඟගේ උත්තමයන් හෑරුවාවූ ළිඳ මේයයි ගීතිකාකළෝය. ඔව්හු කාන්තාරයෙන් මත්තානායටද, 19මත්තානායෙන් නහලියෙලටද නහලීයෙලෙන් බාමොත්ටද, 20බාමොතෙන් මෝවබ් රටේ තිබෙන මිටියාවත සහ කාන්තාරය ඉදිරිපිට තිබෙන පිස්ගා මුදුන දෙසටද ගමන් කළෝය.
21ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ රජවූ සීහොන් වෙතට පණිවිඩකාරයන් යවමින්: 22නුඹේ දේශය මැදින් යන්ට මට අවසර ලැබේවා. අපි කෙත්වලටවත් මිදිවතුවලටවත් නොහැරෙන්නෙමුව. ළින්වලින් වතුර නොබොන්නෙමුව. නුඹේ සීමාව පසුකරන තෙක් රජ මාවත යන්නෙමුයයි කියන්ට කීවෝය. 23එහෙත් සීහොන් තමාගේ සීමාව මැදින් යන්ට ඉශ්‍රායෙල්වරුන්ට ඉඩනොදී, තමාගේ සියලු සෙනඟ රැස්කොට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කාන්තාරයට අවුත් යහශ්ට පැමිණ, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කෙළේය. 24එවිට ඉශ්‍රායෙල්වරු ඔහුට කඩුමුවහතින් පහරදී අර්ණොන් පටන් යබ්බොක්ට පැමිණෙනතුරු අම්මොන් පුත්‍රයන්ගේ සීමාව දක්වා ඔහුගේ දේශය හිමිකරගත්තෝය. මක්නිසාද අම්මොන් පුත්‍රයන්ගේ සීමාව බලවත්ව තිබුණේය. 25ඉශ්‍රායෙල්වරු ඒ සියලු නුවරවල් අල්ලාගෙන අමෝරිවරුන්ගේ සියලු නුවරවල් වන හෙෂ්බොන්හිද ඊට අයිති සියලු නියම්ගම්වලද වාසයකළෝය. 26හෙෂ්බොන් නම් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ නුවරය, ඔහු මෝවබ්හි ප්‍රථම රජුට විරුද්ධව යුද්ධකොට අර්ණොන් දක්වා ඔහුගේ මුළු දේශය ඔහුගේ අතින් ගත්තේය. 27එබැවින් කිවිහු කියන්නෝ:
හෙෂ්බොන්ට එව්, සීහොන් නුවර ගොඩනගනුලැබ සවිවේවා.
28මක්නිසාද හෙෂ්බොන් සිට ගින්නක්ද සීහොන් නුවරින් ගිනිදැලක්ද නික්මගියේය.
එය මෝවබ්හි ආර්ද අර්ණොන් උස්තැන්වල ස්වාමිවරුන්ද දවා දැමීය.
29මෝවබ් තට දුක් විය! අහෝ කෙමොෂ් වැසියෙනි, තොපි නාස්ති වූහුය.
ඔහු තමාගේ පුත්‍රයන් පලායාමටත් තමාගේ දූවරුන් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට වාලටත් දුන්නේය.
30අපි ඔවුන්ට විද්දෙමුව;
හෙෂ්බොන් දීබොන් දක්වාම නාස්තිවිය, නොඵා දක්වා පාළු කෙළෙමුව, මෙදීබා දක්වා ගිනි ඇවුළුණේයයි
කියති. 31මෙසේ ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ දේශයෙහි වාසයකළෝය. 32මෝසෙස් යාසේර් රට සෝදිසිකරන පිණිස හැරියේය, ඔව්හු එහි නියම්ගම් අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමූහ. 33තවද ඔව්හු හැරී බාෂාන්ට යන මාර්ගයෙන් ගියෝය. එවිට බාෂාන්හි රජවූ ඕග්ද ඔහුගේ මුළු සෙනඟද ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්ට එද්රෙයිට ආවෝය. 34ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔහුට භය නොවන්න. මක්නිසාද ඔහු හා ඔහුගේ සියලු සෙනඟද ඔහුගේ දේශයද නුඹ අතට පාවාදුනිමි; හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට කළාක්මෙන් නුඹ ඔහුටත් කරන්නෙහියයි කීසේක. 35එසේ ඔව්හු ඔහුගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන තුරු ඔහුට හා ඔහුගේ පුත්‍රයන්ටද ඔහුගේ සියලු සෙනඟටද පහරදී ඔහුගේ දේශය හිමිකර ගත්තෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy