ගණන් කථාව 14
14
සෙනඟ මැසිවිලි කීම හා සතළිස් අවුරුද්දක් මාර්ගයෙහි මංමුළාවීම
1එවිට මුළු සභාව ශබ්දනගා හැඬුවාය; සෙනඟ ඒ රාත්‍රියේ වැලපුණෝය. 2සියලු ඉශ්රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුළෝය. මුළු සභාව ඔවුන්ට කථාකර: අහෝ අපි මිසර දේශයෙහි මළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මළෙමුනම් යහපත. 3අප කඩුවෙන් වැටෙන පිණිස ස්වාමීන්වහන්සේ මේ දේශයට අප ගෙනෙන්නේ මක්නිසාද? අපේ භාර්යාවන්ද බාලයන්ද කොල්ලයක් වෙනවා ඇත. මිසරයට හැරීයාම අපට හොඳ නොවේ දැයි කීවෝය. 4තවද ඔව්හු එකිනෙකාට කථාකොට: අපි ප්‍රධානියෙකු පත්කරගෙන මිසරයට හැරීයමුයයි කීවෝය. 5එවිට මෝසෙස් හා ආරොන් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සභාවේ මුළු සමූහයා ඉදිරියෙහි මුහුණින් වැටුණෝය. 6දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, 7ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකොට: අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳ දේශයක්ය. 8ස්වාමීන්වහන්සේ අප කෙරෙහි ප්‍රසන්නවනසේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. 9ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය. 10එහෙත් මුළු සභාව ගල්ගසා ඔවුන් මරන්ට කීහ. ස්වාමීන්වහන්සේගේ මහිමයද සම්මුඛවීමේ කූඩාරමේදී සියලු ඉශ්රායෙල් පුත්‍රයන්ට පෙනුණේය.
11 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ සෙනඟ කොපමණ කල් මා හෙළාදකින්නෝද? ඔවුන් අතරෙහි මා විසින් කළ සියලු ලකුණු දැකලාවත් කොපමණ කල් ඔව්හු මා අදහා නොගෙන සිටින්නෝද? 12මම වසංගතයෙන් ඔවුන්ට පහරදී, ඔවුන් අහිමිකොට, ඔවුන්ට වඩා මහත්වූ බලවත්වූ සෙනඟක් නුඹෙන් හටගන්වන්නෙමියි කීසේක. 13මෝසෙස් ස්වාමීන්වහන්සේට කථාකොට: එවිට මිසරවරුන්ට එය සැලවෙනවා ඇත; මක්නිසාද ඔබ ඔවුන් අතරෙන් මේ සෙනඟ ඔබගේ පරාක්‍රමයෙන් ගෙනාසේක; 14ඔව්හු මේ දේශයෙහි වැසියන්ටද ඒක කියන්නාහුය. ස්වාමීන්වහන්ස, ඔබ මේ සෙනඟ මැද සිටිනසේකැයි ඔවුන් විසින් අසනලද්දේය; මක්නිසාද ස්වාමීන්වහන්ස, ඔබ මුහුණට මුහුණ ලා දක්නාලබනසේක, ඔබගේ වලාකුළ මොවුන් මතුයෙහි තිබේ. ඔබ දවාලෙහි වලා ටැඹකින්ද රාත්‍රියෙහි ගිනි ටැඹකින්ද මොවුන්ට පෙරටුව යනසේක. 15ඉදින් ඔබ දැන් මේ සෙනඟ එක්කෙනෙකු මෙන් මරනසේක් නම් ඔබගේ කීර්තිය ඇසූ ජාතීන් කථාකරමින්: 16ස්වාමීන්වහන්සේ මේ සෙනඟට දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට නොහැකිවූ බැවින් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි මරා දැමූසේකැයි කියනවා ඇත. 17එබැවින් ඔබ කථාකොට: ස්වාමීන්වහන්සේ උදහස් වීමට ප්‍රමාදවනසේක. බොහෝ දයාවෙන් යුක්තය, 18උන්වහන්සේ අයුතුකම හා වරද ක්ෂමාකරනසේක, එහෙත් අපරාධීන් කොයි ආකාරයකින්වත් නිර්දෝෂ නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා පියවරුන්ගේ අයුතුකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙනසේකැයි කීලෙසම ස්වාමීන්වහන්සේගේ බලය මහත් වේවා. 19ඔබවහන්සේගේ දයාවේ මහත්කම ලෙසද මේ සෙනඟ මිසරයෙහි සිටින කාලයේ පටන් මේ දක්වා ඔබ මේ සෙනඟට කමාවුණාක් මෙන්ද මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනවයි කීවේය. 20ස්වාමීන්වහන්සේද: නුඹේ වචනය ප්‍රකාරයට කමාවුණෙමි. 21එහෙත් මා ජීවත්ව සිටිනවාත් මුළු පොළොව ස්වාමීන්වහන්සේගේ තේජසෙන් පූර්ණකරනු ලබනවාත් සැබෑවාසේම, 22මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්, 23සැබවින් මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දෙනලෙස දිවුළ දේශය ඔව්හු නොදක්නෝය, මා හෙළාදැක්වූ කිසිවෙක්වත් ඒක නොදක්නේය. 24එහෙත් මාගේ මෙහෙකරුවූ කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඔහු සම්පූර්ණ ලෙස මා අනුව ආ බැවින්ද ඔහු ගිය දේශයට මම ඔහු පමුණුවන්නෙමි; ඔහුගේ වංශයද එය හිමිකරගන්නේය. 25දැන් අමලෙක්වරුන්ද කානානිවරුන්ද මිටියාවතෙහි වාසයකරන බැවින් හෙට නුඹලා හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට පිටත්ව යන්නැයි කීසේක.
26 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ටද කථාකොට: 27මට විරුද්ධව කොඳුරන මේ දුෂ්ට සභාව ගැන කොපමණ කල් ඉවසම්ද? ඉශ්රායෙල් පුත්‍රයන් මට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් ඇසීමි. 28ඔවුන්ට මෙසේ කියන්න–මා ජීවත්ව සිටිනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමීන්වහන්සේ කියනසේක: නුඹලා මා ඉදිරියෙහි කීලෙසම නුඹලාට කරන්නෙමි. 29විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, නුඹලාගේ මුළු ගණන වන නුඹලා අතරෙන් ගණන්කරන ලද්දාවූ, මට විරුද්ධව කොඳුළාවූ නුඹලා සියල්ලන්ගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත. 30නුඹලා යම් දේශයක වාසයකරවමියි කියා මාගේ අත එසවීම්ද, එහි යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද මිස නුඹලා නම් කිසිසේත් ඇතුල්නොවන්නහුය. 31එහෙත් කොල්ලයක් වේයයි නුඹලා කීවාවූ නුඹලාගේ බාලයන් එහි පමුණුවන්නෙමි, ඔව්හු නුඹලා ප්‍රතික්ෂේපකළාවූ දේශය දැනගන්නෝය. 32එහෙත් නුඹලාගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත. 33නුඹලාගේ පුත්‍රයෝද සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි එඬේරුන් මෙන් තැනින් තැන යමින්, නුඹලාගේ මළකඳන් කාන්තාරයෙහි ක්ෂයවී යන තෙක් නුඹලාගේ අනාචාරකම් දරන්නෝය. 34නුඹලා දේශය සෝදිසිකළ දවස් ගණනවූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් නුඹලාගේ අයුතුකම් දරමින්, මාගේ විරෝධවීම නුඹලා දැනගන්නහුය. 35ස්වාමිවූ මම කථාකොට: සැබවින්ම මට විරුද්ධව රැස්ව සිටින මේ මුළු දුෂ්ට සභාවට මම මේක කරන්නෙමි. මේ කාන්තාරයෙහි ඔව්හු නාස්තිවන්නෝය, මෙහි ඔව්හු නසින්නෝයයි කීමියි කීසේක. 36දේශය සෝදිසිකරන පිණිස මෝසෙස් විසින් යවන ලදුව හැරී ඇවිත් දේශය ගැන විරුද්ධවූ නරක ප්‍රවෘත්තියක් පළකිරීමෙන් මුළු සභාව ඔහුට විරුද්ධව කොඳුරන්ට සැලැස්සුවාවූ මනුෂ්‍යයෝ, 37එනම් දේශය ගැන නරක ප්‍රවෘත්තියක් ගෙනාවාවූ මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වසංගතයෙන් මාරුණැහ. 38එහෙත් දේශය සෝදිසිකරන්ට ගිය ඒ මනුෂ්‍යයන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද ජීවත්ව ඉතිරිව සිටියෝය. 39මෝසෙස් ඒ වචන සියලු ඉශ්රායෙල් පුත්‍රයන්ට කීවේය. එවිට සෙනඟ බොහෝසෙයින් වැලපුණෝය. 40පසුවදා ඔව්හු අලුයම නැගිට කථාකර: මෙන්න, අපි මෙහිය, ස්වාමීන්වහන්සේ පොරොන්දුවූ ස්ථානයට නැගී යමුව, මක්නිසාද අපි පව්කෙළෙමුයයි කියා කන්ද මුදුනට නැගී ගියෝය. 41නුමුත් මෝසෙස් කථාකර: සඵලයක් නොවන බව දැනගනත් නුඹලා මෙසේ ස්වාමීන්වහන්සේගේ අණ කඩකරන්නේ මක්නිසාද? 42නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පහර නොලබන පිණිස නැගී නොයන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙහි නොවන සේක. 43අමලෙක්වරුන්ද කානානිවරුන්ද එහි නුඹලා ඉදිරිපිට සිටින බැවින් නුඹලා කඩුවෙන් වැටෙනවා ඇත. නුඹලා ස්වාමීන්වහන්සේ අනුව යාමෙන් හැරී ගොස් සිටින බැවින් ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ නොසිටිනසේකැයි කීවේය. 44එහෙත් ඔව්හු හිතුවක්කාරකමින් කන්ද මුදුනට ගියෝය. එසේ වී නුමුත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද මෝසෙස්ද කඳවුරෙන් පිටත්ව නොගියෝය. 45එවිට ඒ කන්දේ වාසයකළ අමලෙක්වරුද කානානිවරුද බැස ඇවිත් ඔවුන්ට පහරදී හොර්මා දක්වා ඔවුන් විසුරුවාදැමූහ.
Currently Selected:
ගණන් කථාව 14: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society