YouVersion Logo
Search Icon

ගණන් කථාව 11

11
සෙනඟගේ දොස්කීම්
1සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය. 2එවිට සෙනඟ මෝසෙස්ට මොර ගැසුවෝය; මෝසෙස් ස්වාමීන්වහන්සේට යාච්ඤා කෙළේය, ගින්න නිවීගියේය. 3ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ ඇවුළුණු බැවින් ඒ ස්ථානයට තබේරා යන නාමය තබනලද්දේය.
4තවද ඔවුන් අතරේ සිටිය මිශ්‍ර සමූහයා තෘෂ්ණාවට වැටුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවත හඬා: අපට කන්ට මස්දෙන්නේ කවුද? 5මිසරයෙහිදී අප නොමිලයේ කෑවාවූ මාලුද පිපිඤ්ඤාද කොමඩුද කුඩා ලූනුද සුදුලූනුද අපට මතක්වෙයි. 6නුමුත් දැන් අපේ ශරීර වේළී ගොස් තිබේ; කිසිම දෙයක් නැත. මේ මන්නා මිස වෙන කිසි දෙයක් අපේ ඇස් හමුවෙහි නැතැයි කීවෝය. 7මන්නා වනාහි කොත්තමල්ලි ඇට වාගේය, එහි පැහැය මුතුවල පැහැය මෙන්ය. 8සෙනඟ එහා මෙහා ගොස් ඒවා රැස්කරගන ඇඹරුම් ගලෙන් අඹරා නොහොත් වනේ ලා කොටා සැළියක උයා කැවිලි සෑදුවෝය. එහි රස අලුත් තෙල් රස හා සමානය. 9රාත්‍රියෙහි කඳවුර පිට පිනි වැටුණු කල මන්නා ඒ පිට වැටුණේය. 10සෙනඟ පවුල් වශයෙන් තම තමුන්ගේ කූඩාරම් දොරකඩවල සිට අඬනවා මෝසෙස්ට ඇසුණේය. ස්වාමීන්වහන්සේගේ උදහසද බොහෝසෙයින් ඇවුළුණේය; මෝසෙස් අප්‍රසන්නවිය. 11මෝසෙස් ස්වාමීන්වහන්සේට කියනුයේ: ඔබ මේ මුළු සෙනඟගේ බර මා පිට තැබීමෙන් ඔබගේ මෙහෙකරුවාට කුමක්නිසා අයහපත කළසේක්ද? ඔබගේ ඇස් හමුවෙහි මට කරුණාව නොපෙන්නුවේ මක්නිසාද? 12මේ සියලු සෙනඟ කුසේ දැරුවේ මමද? ඇතිකරන පියෙක් කිරි බොන දරුවා උසුලාගෙන යන්නාක්මෙන් ඔවුන්ගේ පියවරුන්ට ඔබ දිවුළ දේශයට ඔවුන් නුඹේ ළයේ උසුලාගෙන යන්නැයි ඔබ මට කියන්ට ඔවුන් ඉපදෙවූවේ මමද? 13මේ මුළු සෙනඟට කන්ට මස් මට කොයින්ද? මක්නිසාද: අපට මස් කන්ට දෙන්නැයි කියා ඔව්හු අඬමින් මට කියති. 14තනියම මේ මුළු සෙනඟ දරන්ට මට බැරිය, මක්නිසාද එය මට බර වැඩිය. 15ඔබ මට මෙසේ කරනසේක්නම්, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේනම්, වහාම මා මරන ලෙස ඔබගෙන් ඉල්ලමි; අහෝ මාගේ කාලකණ්ණිකම මට දකින්ට නුදුන මැනවයි කීවේය.
වැඩිමහල්ලන් සැත්තෑදෙනා
16 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සෙනඟගේ වැඩිමහල්ලන්ව ඔවුන් කෙරේ මුලාදෑනීන්ව සිටින බව නුඹ දන්නාවූ ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සැත්තෑදෙනෙකු මට රැස් කර ඔවුන් නුඹ සමඟ සිටින පිණිස සම්මුඛවීමේ කූඩාරම ළඟට කැඳවාගන එන්න. 17මම බැස එහිදී නුඹ සමඟ කථාකරන්නෙමි. නුඹ තනියම සෙනඟගේ බර නූසුලා, ඔවුන් නුඹ සමඟ එය උසුලන පිණිස නුඹ කෙරෙහි තිබෙන ආත්මයෙන් ගෙන මම ඔවුන් කෙරෙහි තබන්නෙමි. 18නුඹ සෙනඟට කථාකොට: හෙට දවසට පවිත්‍ර වෙන්න, එවිට නුඹලා මාංස කන්නහුය. මක්නිසාද නුඹලා: අපට මස් කන්ට දෙන්නේ කවුද? මිසරයෙහිදී අපි සැප වින්දෙමුයයි කියමින් ස්වාමීන්වහන්සේගේ කන්වලට ඇසෙන්ට වැලපුණහුය. එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට මාංස දෙනවා ඇත, නුඹලාද කන්නහුය. 19නුඹලා අතරේ සිටින ස්වාමීන්වහන්සේ ප්‍රතික්ෂේපකොට: අපි කුමක් නිසා මිසරයෙන් ආවෙමුදැයි කියමින් උන්වහන්සේ ඉදිරියෙහි වැලපුණු බැවින්, 20එක දවසක් නොව දෙදවසක් නොව පස් දවසක් නොව දස දවසක් නොව විසි දවසක් නොව මාසයක් මුළුල්ලේම මාංස නුඹලාගේ නාස්පුඩුවලින් නික්ම නුඹලාට පිළිකුල් වන තුරු නුඹලා ඒවා කනවා ඇතැයි සෙනඟට කියන්නැයි කීසේක. 21මෝසෙස් කියනුයේ: මා වෙත සිටින පයින් යන සෙනඟ සලක්ෂයක; එහෙත් මාසයක් මුළුල්ලෙහි ඔවුන්ට මස් කන්ට දෙන්නෙමියි ඔබ කීසේක. 22ඔවුන් තෘප්තියට පමුණුවන පිණිස එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද ඔවුන් නිසා මැරිය හැක්කේද? නොහොත් ඔවුන් සෑහීමට පමුණුවන පිණිස මුහුදේ සියලු මත්ස්‍යයන් ඔවුන් උදෙසා රැස්කළ හැක්කේදැයි කීයේය.
23 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ හස්තය ලුහුඬුව තිබේද? මගේ වචනය ඉෂ්ටවේද නැද්ද කියා දැන් නුඹට පෙනේයයි කීසේක. 24එවිට මෝසෙස් පිටතට ගොස් ස්වාමීන්වහන්සේගේ වචන සෙනඟට කියා, සෙනඟ අතරෙන් වැඩිමහල්ලන් සැත්තෑදෙනෙකු රැස්කොට ඔවුන් කූඩාරම වටකර සිටෙව්වේය. 25ස්වාමීන්වහන්සේ වලාකුළ පිරිවරා බැස්සසේක්, ඔහුට කථාකොට ඔහු කෙරෙහි තිබුණු ආත්මයෙන් ගෙන වැඩිමහල්ලන් සැත්තෑදෙනා කෙරෙහි තැබූසේක. එසේ ආත්මය ඔවුන් කෙරෙහි පිහිටි කල ඔව්හු ප්‍රොපේත වාක්‍ය කීවෝය, නුමුත් පසුව එසේ නොකීවෝය. 26එහෙත් මනුෂ්‍යයෝ දෙදෙනෙක් කඳවුරෙහි නැවතී සිටියෝය, එක්කෙනෙකුගේ නම එල්දාද්ය. අනික් අයගේ නම මේදාද්ය. ආත්මය ඔවුන් කෙරෙහිද පිහිටියේය; ඔව්හු ලියනලද්දවුන්ට ඇතුළත්ව සිටිය නුමුත් කූඩාරම ළඟට නොගියෝය. ඔව්හුද කඳවුරෙහිදී දිව්‍ය වාක්‍ය කීවෝය. 27තරුණයෙක් දිවගොස් මෝසෙස්ට කථාකොට: එල්දාද් සහ මේදාද් කඳවුරෙහි සිට දිව්‍ය වාක්‍ය කියතියි කීය. 28මෝසෙස්ගේ මෙහෙකරුවූ ඔහුගේ තෝරාගත් මනුෂ්‍යයන්ගෙන් කෙනෙක්වූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා උත්තරදෙමින්: මෝසෙස් ස්වාමිනි, ඔවුන් තහනම්කළ මැනවයි කීය. 29මෝසෙස්ද: නුඹ මා නිසා ඊර්ෂ්‍යාවෙනවාද? ස්වාමීන්වහන්සේගේ සියලු සෙනඟ ප්‍රොපේතවරුන් වෙන ලෙස ස්වාමීන්වහන්සේ තමන්ගේ ආත්මය ඔවුන් කෙරෙහි තැබුවොත් යෙහෙකැයි කීවේය. 30පසුව මෝසෙස්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද කඳවුර ඇතුළට ගියෝය.
වටුවන් සහ පීඩාව
31එවිට ස්වාමීන්වහන්සේ කෙරෙන් සුළඟක් නික්ම ගොස් වටුවන් මුහුදෙන් පමුණුවා කඳවුර ළඟ මෙහායින් දවසක ගමන් පමණද එහායින් දවසක ගමන් පමණද දුරටත් පොළොව මතුපිට දෙරියනක් පමණ උසටත් කඳවුර හාත්පසින් උන් වැටෙන්ට සැලැස්විය. 32සෙනඟ ඒ දවස මුළුල්ලෙහිත් රෑ මුළුල්ලෙහිත් පසුවදා මුළුල්ලෙහිත් නැගිට සිට වටුවන් එකතුකළෝය. ඉතාම ස්වල්ප වශයෙන් එකතුකළ තැනැත්තේ හෝමෙර දසයක් එකතුකරගත්තේය. ඔව්හු කඳවුර හාත්පස උන් තමුන්ටම අතුරා තබාගත්තෝය. 33නුමුත් මාංස ඔවුන්ගේ දත් අතරේ තිබෙද්දීම, ඒවා විකන්ට පළමුවෙන්, ස්වාමීන්වහන්සේගේ උදහස සෙනඟට විරුද්ධව ඇවුළුණේය, ස්වාමීන්වහන්සේ ඉතා මහත් වසංගතයකින් සෙනඟට පහරදුන්සේක. 34තෘෂ්ණාධික සෙනඟ එහි තැන්පත් කරනු ලැබූ බැවින් ඒ ස්ථානයට කිබ්‍රොත්-හත්තාවා#11:34 එනම්, තෘෂ්ණා සොහොන්පළ. යන නම තබන ලද්දේය. 35සෙනඟ කිබ්‍රොත්-හත්තාවායෙන් නික්ම හශේරොත්ට පිටත්ව ගොස් හශේරොත්හි නැවතී සිටියෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy