YouVersion Logo
Search Icon

ශු. මතෙව් 23:27-39

ශු. මතෙව් 23:27-39 SROV

ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුදුකළ සොහොන් ගෙවලට සමානය, ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ. එසේම නුඹලාත් පිටතින් මනුෂ්‍යයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය, නුමුත් ඇතුළතින් වංචාවෙන්ද අයුතුකමෙන්ද පිරී සිටින්නහුය. ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා අනාගතවක්තෘවරුන්ගේ සොහොන් ගෙවල් සාදා, ධර්මිෂ්ඨයන්ගේ සොහොන් කොත් හරහා: අපේ පියවරුන්ගේ කාලයේදී අපි සිටියෙමු නම් අනාගතවක්තෘවරුන්ගේ ලේ වැගිරීමට ඔවුන් සමඟ හවුල්කාරයෝ නොවන්නෙමුයයි කියන්නහුය. මෙසේ නුඹලා අනාගතවක්තෘවරුන් මැරූවන්ගේ පුත්‍රයෝයයි නුඹලාම සාක්ෂිදෙන්නහුය. නුඹලාත් නුඹලාගේ පියවරුන්ගේ මිම්ම පූර්ණකරන්න. සර්පයෙනි, පොළොංවංශයෙනි, නුඹලා නිරයේ දඬුවමින් කෙසේ ගැළවෙන්නහුද? එබැවින් මම අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ලියන්නන්ද නුඹලා ළඟට එවමි. නුඹලා ඔවුන්ගෙන් සමහරෙකු මරන්නහුය, කුරුසියෙහි ඇණගසන්නහුය; සමහරෙකුට නුඹලාගේ සිනගෝ වලදී තළා, ඔවුන් නුවරින් නුවරට එළවමින් පීඩාකරන්නහුය. මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ නුඹලා විසින් මරනලද බරාකියාගේ පුත්‍රවූ සකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය. සැබවක් නුඹලාට කියමි–මේ සියල්ල මේ පරම්පරාව පිටට පැමිණෙන්නේය. අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත. බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ. මක්නිසාද නුඹලාට කියමි: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාදලද්දේයයි නුඹලා කියන තෙක් මෙතැන් පටන් නුඹලා මා දකින්නේ නැතැයි කීසේක.

Free Reading Plans and Devotionals related to ශු. මතෙව් 23:27-39