YouVersion Logo
Search Icon

ශු. මතෙව් 21

21
යේසුස්වහන්සේ රජෙකු සේ යෙරුසලමට ඇතුල්වීම
1ඔවුන් යෙරුසලමට ළංව ඔලීව කන්දට සමීපවූ බෙත්පාගයට පැමිණි කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනෙකු යවමින්: 2නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහිම එහි කොටළුදෙනක්ද ඈ සමඟ පැටවෙක්ද බැඳ සිටිනවා නුඹලාට සම්බවෙයි. උන් ලිහා මා ළඟට ගෙනෙන්න. 3යමෙක් නුඹලාට කිසිවක් කීවොත්: ස්වාමීන්වහන්සේට උන් ඕනෑ කෙරේයයි කියන්න; එවිට ඔහු එවලේම උන් එවන්නේයයි ඔවුන්ට කීසේක.
4මෙසේ වූයේ, බලව, නුඹේ රජ කොටළුවෙකු පිටද, කොටළුවෙකුගේ පැටවාවූ වස්සෙකු පිටද නැගී, මොළොක් ගුණයෙන් යුක්තව නුඹ වෙතට එනසේකැයි සියොන්ගේ දුවට කියන්නැයි
5අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය. 6ගෝලයෝ ගොස් යේසුස්වහන්සේ නියමකළ ලෙස කර, 7කොටළුදෙනත් පැටියත් ගෙනවුත් තමුන්ගේ වස්ත්‍ර උන් පිට එළුවෝය; උන්වහන්සේ ඒ පිට හිඳගත්සේක. 8සමූහයාගෙන් වැඩිදෙනා තමුන්ගේ වස්ත්‍ර මග අතුළෝය; තවත් සමහරු ගස්වලින් අතු කපා මග අතුළෝය. 9පෙර පසුව ගිය සමූහයෝ: දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය. 10උන්වහන්සේ යෙරුසලමට ඇතුල්වූ කල මුළු නුවර කැලඹී: මේ කවුදැයි කීවෝය. 11සමූහයෝද: මුන්වහන්සේ ගලීලයේ නාසරෙත් නුවර අනාගතවක්තෘවූ යේසුස්වහන්සේයයි කීවෝය.
දේවමාළිගාව පවිත්‍රකිරීම
12යේසුස්වහන්සේ දේව මාළිගාවට ඇතුල්ව, මාළිගාවෙහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි සියලු දෙන පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළාදමා: 13මාගේ ගෘහය යාච්ඤා ගෘහයක්ය කියනු ලබන්නේයයි ලියා තිබේ. නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කරතියි ඔවුන්ට කීසේක. 14අන්ධයෝද කොරුද දේවමාළිගාවෙහි උන්වහන්සේ වෙතට ආවෝය. උන්වහන්සේ ඔවුන්ට සුවකළසේක. 15එහෙත් නායක පූජකයොත් ලියන්නොත් උන්වහන්සේ කළ පුදුම දේවල්ද දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කිය කියා දේවමාළිගාවේ මොරගසන දරුවන්ද දැක, කිපී: 16මොවුන් කියන දේ ඔබට ඇසෙනවාදැයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: එසේය, බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේය යන්න නුඹලා කිසිකලක කියෙවුවේ නැද්දැයි ඔවුන්ට කීසේක. 17උන්වහන්සේ ඔවුන් අත්හැර නුවරින් පිටත්ව බෙතානියට ගොස්, එහි සිටිසේක.
ඵල නැති අත්තික්කා ගහ
18අලුයම නුවරට නැවත යන අතර උන්වහන්සේට බඩගිනිවිය. 19උන්වහන්සේ පාර අද්දර තිබෙන අත්තික්කා ගහක් දැක ළඟට ගොස්, එහි කොළ මිස වෙන කිසිවක් නොදැක: මෙතැන් පටන් කිසිකලක නුඹෙන් ඵල හට නොගනීවයි ඒ ගහට කීසේක. අත්තික්කා ගහ වහාම වියළුණේය. 20ගෝලයෝ ඒ දැක: අත්තික්කා ගහ වහාම වියළුණේ කෙසේද කියා මවිතවූවෝය. 21යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–නුඹලා සැක නොකොට, ඇදහිල්ල ඇතුව සිටිනවානම්, අත්තික්කා ගහට කළ දේ නුඹලා කරනවා පමණක් නොව: ඉදිරි මුහුදේ වැටෙවයි මේ කන්දට කීවත් එය සිද්ධ වන්නේය. 22තවද නුඹලා ඇදහිල්ල ඇතුව යාච්ඤාවෙන් ඉල්ලන කොයි දෙයක් නුමුත්, ඒ සියල්ල නුඹලාට ලැබේයයි ඔවුන්ට කීසේක.
යේසුස්වහන්සේ ගේ බලය ගැන ප්‍රශ්නකිරීම
23උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව උගන්වමින් සිටියදී නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද උන්වහන්සේ ළඟට ඇවිත්: නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? මේ බලය නුඹට දුන්නේ කවුදැයි ඇසුවෝය. 24යේසුස්වහන්සේ උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් එක ප්‍රශ්නයක් අසමි-නුඹලා ඒක මට කියන්නහුනම් මමද මේ කාරණා අසවල් බලයෙන් කරමියි නුඹලාට එසේම කියන්නෙමි. 25යොහන්ගේ බව්තීස්මය වූයේ කොතැනින්ද? ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්දැයි ඇසූසේක. ඔව්හු තම තමුන් අතරේ කථාකරගෙන: ස්වර්ගයෙනැයි කියමු නම්, ඔහුව අදහා නොගත්තේ මක්නිසාදැයි අපෙන් අසනවා ඇත. 26මනුෂ්‍යයන්ගෙනැයි කියමු නම්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සියල්ලන් විසින් සලකන හෙයින් අපි සමූහයාට භයයයි කියා: 27අපි නොදනිමුයයි යේසුස්වහන්සේට උත්තරදුන්නෝය. උන්වහන්සේද: මේ දේවල් අසවල් බලයෙන් කරමියි මමත් නුඹලාට නොකියමියි ඔවුන්ට කීසේක.
පුත්‍රයන් දෙදෙනා ගැන උපමාව
28නුමුත් නුඹලා සිතන්නේ කුමක්ද? එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය; ඔහු පළමුවෙනියා ළඟට ඇවිත්: පුත්‍රය, ගොස් අද මිදිවත්තේ වැඩකරන්නැයි කීවේය. 29ඔහු උත්තරදෙමින්: නොයමියි කීවේය; නුමුත් පසුව පසුතැවිලිවී ගියේය. 30ඔහු දෙවෙනියා ළඟට ඇවිත් එසේම කීවේය. ඔහු උත්තරදෙමින්: ස්වාමිනි, යමියි කීවේය; නුමුත් ගියේ නැත. 31ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත කළේ කවුදැයි ඇසූසේක. පළමුවෙනියායයි ඔව්හු කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් නුඹලාට කියමි, සුංගම් අයකරන්නොත් වේශ්‍යාවොත් නුඹලාට පළමුවෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙති. 32මක්නිසාද යොහන් ධර්මිෂ්ඨකම නමැති මාර්ගයෙන් නුඹලා ළගට ආවේය, එහෙත් නුඹලා ඔහු අදහා නොගත්තහුය. නුමුත් සුංගම් අයකරන්නොත් වේශ්‍යාවොත් ඔහු අදහාගත්තෝය. නුඹලා ඒ දැකත් ඔහු අදහාගන්න පිණිස පසුවවත් පසුතැවිලිවුණේ නැත.
මිදිවත්ත ගැන උපමාව
33තවත් උපමාවක් අසන්න: එක් ගෙදර ස්වාමියෙක් මිදිවත්තක් වවා, වටේට වැට බැඳ, එහි මුද්‍රික යන්ත්‍රයක් හාරා තබා, කොතක් බැඳ ගොවීන්ට බදුදී, වෙන රටකට ගියේය. 34ඵල නෙළන කාලය ළංවූ කල තමාට අයිති ඵල ලබාගන්නා පිණිස ඔහු තමාගේ දාසයන් ගොවීන් වෙතට යැවීය. 35එවිට ගොවියෝ ඔහුගේ දාසයන් අල්ලා, එකෙකුට ගැසුවෝය, එකෙකු මැරුවෝය, තවත් කෙනෙකුට ගල් ගැසුවෝය. 36නැවතත් ඔහු පළමුවෙනි අයට වඩා වැඩි ගණනක් වෙන දාසයන් යැවීය. ඔව්හු ඔවුන්ටත් එසේම කළෝය. 37පසුව ඔහු: මාගේ පුත්‍රයාට ඔවුන් ගෞරවකරනවා ඇත කියා, තමාගේ පුත්‍රයා ඔවුන් ළඟට යැවීය. 38නුමුත් ගොවියෝ පුත්‍රයා දැක: මොහු උරුමක්කාරයාය; එන්න, මොහු මරා මොහුගේ උරුමය ගනිමුයයි ඔවුනොවුන් කථාකොට, 39ඔහු අල්ලා මිදිවත්තෙන් පිටතට දමා මැරුවෝය. 40එබැවින් මිදිවත්තේ ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරන්නේදැයි ඇසූසේක. 41ඔව්හු කථාකොට: ඔහු ඒ නපුරු මනුෂ්‍යයන් භයානකලෙස විනාශකොට, නියම කාලවලදී තමාගේ ඵල කොටස දෙන්නාවූ වෙන ගොවීන්ට තමාගේ මිදිවත්ත භාරදෙන්නේයයි කීවෝය. 42යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්:
ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය.
මෙය ස්වාමීන්වහන්සේ කෙරෙන් විය, අපේ ඇස්වලට ඒක ආශ්චර්යයක්ය
යනු ශුද්ධ ලියවිලිවල නුඹලා කිසිකලක කියෙවුවේ නැද්ද? 43එබැවින් නුඹලාට මම කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය. 44මේ ගල පිට වැටෙන්නා පොඩිවී යන්නේය. නුමුත් ඒක යමෙකු පිට වැටුණොත්, ඒක ඔහු ධූලි මෙන් සුනුකර දමන්නේයයි කීසේක. 45නායක පූජකයොත් ඵරිසිවරුත් උන්වහන්සේගේ උපමා අසා, ඒවා තමුන් ගැන කී බව දැන, 46උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය. නුමුත් උන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙකැයි සමූහයා සැලකූ නිසා ඔවුන්ට භයවූවෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy