YouVersion Logo
Search Icon

ශු. මතෙව් 2:1-12

ශු. මතෙව් 2:1-12 SROV

තවද හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්: යුදෙව්වරුන්ට රජව උපන් තැනන්වහන්සේ කොතැන්හිද? මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්වදිශාවෙහිදී දැක, උන්වහන්සේට නමස්කාරකරන පිණිස ආවෙමුයයි කීවෝය. හෙරොද් රජ ඒ ඇසූ කල්හි ඔහුද ඔහු සමඟ මුළු යෙරුසලමද කැලඹුණෝය. එකල ඔහු සියලු නායක පූජකයන්ද සෙනඟගේ ලියන්නන්ද රැස්කරවා, ක්‍රිස්තුන්වහන්සේ කොතැන්හි උපදිනසේක්දැයි ඔවුන්ගෙන් විචාළේය. ඔව්හු කථාකොට: යුදයේ බෙත්ලෙහෙම්හිය, කුමක් හෙයින්ද– එම්බා බෙත්ලෙහෙම, යූදා දේශය, ‍ නුඹ යූදාගේ අධිපතීන් අතරෙහි කොයි ලෙසකින්වත් ඉතා කුඩා නොවන්නීය. මක්නිසාද මාගේ ඉශ්‍රායෙල් සෙනඟ පාලනයකරන්නාවූ ආණ්ඩුකාරයෙක් නුඹ කෙරෙන් නික්මෙන්නේයයි අනාගතවක්තෘ විසින් ලියා තිබේයයි ඔහුට කීවෝය. එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව කොයි කාලයෙහි පෙනුණේදැයි හරියාකාරයෙන් ඔවුන්ගෙන් දැනගෙන: නුඹලා ගොස් ඒ ළදරුවා ගැන හරියාකාරයෙන් විභාගකරන්න; නුඹලාට සම්බවූ කල, මාත් ගොස් උන්වහන්සේට නමස්කාරකරන පිණිස මට දන්වන්නය කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවීය. ඔව්හු රජුගේ බස් අසා පිටත්ව ගියෝය; බලව, පූර්වදිශාවෙහිදී ඔවුන් දුටු තාරකාව ළදරුවා උන් තැන මුදුනට පැමිණ නවතින තුරු ඔවුන්ට පෙරටුව ගියේය. ඔව්හු තාරකාව දැක ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවූවෝය. ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය. තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙස දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ඔව්හු අන් මගකින් තමුන්ගේ රටට ගියෝය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy