YouVersion Logo
Search Icon

ශු. මතෙව් 13

13
වපුරන්නාගේ උපමාව
1ඒ දවසෙහි යේසුස්වහන්සේ ගෙදරින් පිටත්ව ගොස් මුහුද ළඟ හිඳගත්සේක. 2බොහෝ සමූහයන් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක; මුළු සමූහයා වෙරළෙහි සිටියෝය. 3උන්වහන්සේ ඔවුන්ට බොහෝ කාරණා උපමාවලින් කියනසේක්: බලව, වපුරන්නා වපුරන්ට ගියේය; 4ඔහු වපුරන කල්හි සමහර බීජ මග අසල වැටුණේය, පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය. 5සමහරක් වඩා පස් නැති ගල් බිම්වල වැටී, පස් ඝනව නොතිබුණු බැවින් ඒවා වහාම පැළවිය. 6නුමුත් ඉර උදාවූ කල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය. 7අන් සමහරක් කටු අතරෙහි වැටුණේය; කටු ගස් වැවී ඒවා යටකර දැම්මේය. 8තවත් සමහරක් සරු බිමෙහි වැටී, එකෙන් සියයක්ද එකෙන් සැටක්ද එකෙන් තිහක්ද බැගින් ඵල දුන්නේය. 9ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක.
උපමා කථාවලින් ඉගැන්වීම
10එවිට ගෝලයෝ ඇවිත්: ඔබවහන්සේ ඔවුන්ට උපමාවලින් කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවෝය. 11උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගරාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත. 12මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබෙන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් යමෙකුට නැත්තේද ඔහුට ඇති දේත් ඔහුගෙන් ගනු ලබන්නේය. 13එහෙයින් ඔවුන් දකිමින්ම නොදක්නා නිසාද අසමින්ම නොඅසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමාවලින් කථාකරමි. 14තවද යෙසායාගේ අනාගත වචනය ඔවුන් කෙරෙහි සම්පූර්ණවේ, එනම්:
ඇසීමෙන් නුඹලා අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය;
බලමින්ම සිටින නුමුත් නුඹලා කිසිසේත් නොපැහැදෙන්නහුය.
15මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිතියි යනුයි.
16නුමුත් පෙනෙන නිසා නුඹලාගේ ඇස්ද ඇසෙන නිසා නුඹලාගේ කන්ද වාසනාවන්තය. 17මක්නිසාද සැබවක් නුඹලාට කියමි: බොහෝ අනාගතවක්තෘවරුන්ද ධර්මිෂ්ඨයන්ද නුඹලා දකින දේ දකින්ටත් නුඹලා අසන දේ අසන්ටත් ආශාවූ නුමුත් ඒවා දුටුවේවත් ඇසුවේවත් නැත.
වපුරන්නාගේ උපමාව තෝරාදීම
18එබැවින් වපුරන්නාගේ උපමාව අසන්න. 19යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය. 20ගල් බිම්වල වපුරනලද්දේ නම්, වචනය අසා එකෙණෙහිම සන්තෝෂයෙන් පිළිගන්න තැනැත්තාය; 21එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය. 22කටු අතරෙහි වපුරන ලද්දේ නම්, වචනය අසා, ලෝකය ගැන වෙහෙසීමෙන්ද වස්තුවේ රැවටිලිකාරකමෙන්ද වචනය යටවීමෙන් ඵල නොදරන තැනැත්තාය. 23සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේයයි කීසේක.
කිරිඳි ගැන උපමාව
24උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියෙහි දක්වමින්: තමාගේ කෙතෙහි හොඳ බීජ වපුළ මනුෂ්‍යයෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ. 25මනුෂ්‍යයන් නිදාසිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය. 26කොළ වැඩී කරල් හටගත් කල කිරිඳිත් පෙනුණේය. 27එවිට ගෙදර ස්වාමියාගේ දාසයෝ ඇවිත්: ස්වාමිනි, ඔබගේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේද? එසේවී නම් කිරිඳ කොයින් දැයි ඔහුට කීවෝය. 28සතුරෙක් මේක කරලා තිබේයයි ඔහු කීවේය. එවිට දාසයෝ කථාකොට: එසේවී නම් අප ගොස් ඒවා උදුරාදමනවාට ඔබ කැමතිදැයි ඔහුගෙන් ඇසුවෝය. 29එහෙත් ඔහු උත්තරදෙමින්: එසේ නොකරන්න; නුඹලා කිරිඳි උදුරන කල තිරිඟුත් ඒ සමඟ ඉදිරෙන්ට පුළුවන. 30කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට අරින්න. කපන කාලයේදී–පළමුකොට කිරිඳි එකතුකර දවන පිණිස මිටි බඳින්න. නුමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස්කරන්නැයි කපන්නන්ට කියන්නෙමියි කීවේයයි කීසේක.
අබ ඇටයේ උපමාව සහ මුහුන් උපමාව
31උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියේ දක්වමින්: මනුෂ්‍යයෙකු විසින් අරගෙන තමාගේ කෙතෙහි වපුළ අබ ඇටයකට ස්වර්ගරාජ්‍යය සමානය. 32ඒක සියලුම බීජවලට වඩා කුඩා නුමුත් වැඩුණු කල පළාගස්වලට වඩා මහත්ව, ආකාශ පක්ෂීන් ඇවිත් එහි අතුවල ලගින තරම් ගසක් වන්නේයයි කීසේක.
33උන්වහන්සේ තවත් උපමාවක් කියනසේක්: ස්ත්‍රියෙකු විසින් පිටි නැළි තුනක් සහමුලින්ම පිපෙන තුරු එහි දමා තිබූ මුහුන්වලට ස්වර්ගරාජ්‍යය සමානයයි කීසේක.
34යේසුස්වහන්සේ මේ සියල්ල සමූහයන්ට උපමාවලින් කථාකළසේක; උපමාවක් නැතුව කිසිවක් ඔවුන්ට කථානොකළසේක. 35මෙසේ වූයේ–
උපමාවලින් මාගේ මුඛය අරින්නෙමි;
ලෝකයේ පටන්ගැන්මේ සිට සැඟවී තිබුණු කාරණා ප්‍රකාශකරන්නෙමියි
අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණා සම්පූර්ණ වන පිණිසය.
කිරිඳි උපමාව තෝරාදීම
36එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය. 37උන්වහන්සේ උත්තරදෙමින්: හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයාය; 38කෙත නම් ලෝකයය; හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය; 39කිරිඳි නම් නපුරාගේ පුත්‍රයෝය; ඒවා වපුළ සතුරා නම් යක්ෂයාය. කපන කාලය නම් ලෝකාන්තිමයය; කපන්නෝ නම් දේවදූතයෝය. 40එබැවින් කිරිඳි එක්කොට ගින්නෙන් දවන්නාක් මෙන් ලෝකාන්තිමයේදී වන්නේය. 41මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක, ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට, 42ගිනි උදුනෙහි හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටිකෑමද වන්නේය. 43එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය. ඇසීමට කන් ඇත්තේ අසාවා.
නිධානයේද මුතුඇටයේද දැලේද උපමා
44කෙතෙහි සඟවා තිබුණු වස්තුවකට ස්වර්ගරාජ්‍යය සමානය; මනුෂ්‍යයෙකුට ඒක සම්බවිය; ඔහු ඒක සඟවාතබා, ඒ ගැන සන්තෝෂයෙන් ගොස්, තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගන්නේය.
45තවද හොඳ මුතු සොයන්නාවූ වෙළෙන්දෙකුට ස්වර්ගරාජ්‍යය සමානය. 46ඉතා අනර්ඝවූ එක මුතු ඇටයක් ඔහුට සම්බවී, ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒක මිලදී ගත්තේය.
47තවද මුහුදේ හෙළුවාවූද සියලු වර්ගවල මසුන් අසුවුණාවූද දැලකට ස්වර්ග රාජ්‍යය සමානය. 48ඒ දැල පිරුණු කල ඔව්හු එය වෙරළට ඇද හිඳගෙන, හොඳවුන් භාජනවල එකතුකොට, නරකවුන් අහකදැමුවෝය. 49ලෝකාන්තිමයේදී එසේම වන්නේය. දේවදූතයෝ නික්ම ඇවිත්, ධර්මිෂ්ඨයන් කෙරෙන් දුෂ්ටයන් වෙන්කොට, 50ගිනි උදුනෙහි හෙළන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේය.
51නුඹලා මේ සියල්ල තේරුම්ගත්තහුදැයි ඇසූසේක. එසේයයි ඔව්හු උන්වහන්සේට කීවෝය. 52එවිට උන්වහන්සේ ඔවුන්ට කථාකොට: එහෙයින් ස්වර්ග රාජ්‍යය සඳහා ගෝලයෙක්වී සිටින යම් ලියන්නෙක් ඇද්ද, ඔහු තමාගේ ගබඩාවෙන් අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන්නාවූ ගෙදර ස්වාමියෙකුට සමානයයි කීසේක.
නාසරෙත්හිදී යේසුස්වහන්සේ සුළුකරනු ලැබීම
53තවද යේසුස්වහන්සේ මේ උපමා කියා නිමකළායින් පසු එතැනින් පිටත්ව ගියසේක. 54උන්වහන්සේ තමන්ගේ රටට පැමිණ, ඔවුන්ගේ සිනගෝගයෙහිදී ඔවුන්ට ඉගැන්වූසේක. ඔව්හු විස්මපත්ව: මොහුට මේ ප්‍රඥාව සහ බලවත් ක්‍රියා කොයින්ද? 55මොහු වඩුවාගේ පුත්‍රයා නොවේද? මොහුගේ මවුගේ නම මරියා නොවේද? මොහුගේ සහෝදරයෝ යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නොවෙද්ද? 56මොහුගේ සියලු සහෝදරියොත් අප අතරෙහි නොවෙද්ද? එසේවී නම් මේ සියල්ල මොහුට කොයින්ද කියා, 57උන්වහන්සේ ගැන බාධාවූවෝය. නුමුත් යේසුස්වහන්සේ කථාකොට: අනාගතවක්තෘ කෙනෙක් තමාගේම රටේදීත් තමාගේම ගෙදරදීත් හැර ගෞරව නැතුව නොසිටින්නේයයි ඔවුන්ට කීසේක. 58ඔවුන්ගේ ඇදහිලි නැතිකම නිසා උන්වහන්සේ එහිදී බොහෝ ආශ්චර්යයන් නොකළසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy