ශු. මතෙව් 13:18-30
ශු. මතෙව් 13:18-30 SROV
එබැවින් වපුරන්නාගේ උපමාව අසන්න. යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය. ගල් බිම්වල වපුරනලද්දේ නම්, වචනය අසා එකෙණෙහිම සන්තෝෂයෙන් පිළිගන්න තැනැත්තාය; එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය. කටු අතරෙහි වපුරන ලද්දේ නම්, වචනය අසා, ලෝකය ගැන වෙහෙසීමෙන්ද වස්තුවේ රැවටිලිකාරකමෙන්ද වචනය යටවීමෙන් ඵල නොදරන තැනැත්තාය. සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේයයි කීසේක. උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියෙහි දක්වමින්: තමාගේ කෙතෙහි හොඳ බීජ වපුළ මනුෂ්‍යයෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ. මනුෂ්‍යයන් නිදාසිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය. කොළ වැඩී කරල් හටගත් කල කිරිඳිත් පෙනුණේය. එවිට ගෙදර ස්වාමියාගේ දාසයෝ ඇවිත්: ස්වාමිනි, ඔබගේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේද? එසේවී නම් කිරිඳ කොයින් දැයි ඔහුට කීවෝය. සතුරෙක් මේක කරලා තිබේයයි ඔහු කීවේය. එවිට දාසයෝ කථාකොට: එසේවී නම් අප ගොස් ඒවා උදුරාදමනවාට ඔබ කැමතිදැයි ඔහුගෙන් ඇසුවෝය. එහෙත් ඔහු උත්තරදෙමින්: එසේ නොකරන්න; නුඹලා කිරිඳි උදුරන කල තිරිඟුත් ඒ සමඟ ඉදිරෙන්ට පුළුවන. කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට අරින්න. කපන කාලයේදී–පළමුකොට කිරිඳි එකතුකර දවන පිණිස මිටි බඳින්න. නුමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස්කරන්නැයි කපන්නන්ට කියන්නෙමියි කීවේයයි කීසේක.





