YouVersion Logo
Search Icon

ශු. මතෙව් 13:1-30

ශු. මතෙව් 13:1-30 SROV

ඒ දවසෙහි යේසුස්වහන්සේ ගෙදරින් පිටත්ව ගොස් මුහුද ළඟ හිඳගත්සේක. බොහෝ සමූහයන් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක; මුළු සමූහයා වෙරළෙහි සිටියෝය. උන්වහන්සේ ඔවුන්ට බොහෝ කාරණා උපමාවලින් කියනසේක්: බලව, වපුරන්නා වපුරන්ට ගියේය; ඔහු වපුරන කල්හි සමහර බීජ මග අසල වැටුණේය, පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය. සමහරක් වඩා පස් නැති ගල් බිම්වල වැටී, පස් ඝනව නොතිබුණු බැවින් ඒවා වහාම පැළවිය. නුමුත් ඉර උදාවූ කල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය. අන් සමහරක් කටු අතරෙහි වැටුණේය; කටු ගස් වැවී ඒවා යටකර දැම්මේය. තවත් සමහරක් සරු බිමෙහි වැටී, එකෙන් සියයක්ද එකෙන් සැටක්ද එකෙන් තිහක්ද බැගින් ඵල දුන්නේය. ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක. එවිට ගෝලයෝ ඇවිත්: ඔබවහන්සේ ඔවුන්ට උපමාවලින් කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගරාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත. මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබෙන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් යමෙකුට නැත්තේද ඔහුට ඇති දේත් ඔහුගෙන් ගනු ලබන්නේය. එහෙයින් ඔවුන් දකිමින්ම නොදක්නා නිසාද අසමින්ම නොඅසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමාවලින් කථාකරමි. තවද යෙසායාගේ අනාගත වචනය ඔවුන් කෙරෙහි සම්පූර්ණවේ, එනම්: ඇසීමෙන් නුඹලා අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය; බලමින්ම සිටින නුමුත් නුඹලා කිසිසේත් නොපැහැදෙන්නහුය. මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිතියි යනුයි. නුමුත් පෙනෙන නිසා නුඹලාගේ ඇස්ද ඇසෙන නිසා නුඹලාගේ කන්ද වාසනාවන්තය. මක්නිසාද සැබවක් නුඹලාට කියමි: බොහෝ අනාගතවක්තෘවරුන්ද ධර්මිෂ්ඨයන්ද නුඹලා දකින දේ දකින්ටත් නුඹලා අසන දේ අසන්ටත් ආශාවූ නුමුත් ඒවා දුටුවේවත් ඇසුවේවත් නැත. එබැවින් වපුරන්නාගේ උපමාව අසන්න. යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය. ගල් බිම්වල වපුරනලද්දේ නම්, වචනය අසා එකෙණෙහිම සන්තෝෂයෙන් පිළිගන්න තැනැත්තාය; එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය. කටු අතරෙහි වපුරන ලද්දේ නම්, වචනය අසා, ලෝකය ගැන වෙහෙසීමෙන්ද වස්තුවේ රැවටිලිකාරකමෙන්ද වචනය යටවීමෙන් ඵල නොදරන තැනැත්තාය. සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේයයි කීසේක. උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියෙහි දක්වමින්: තමාගේ කෙතෙහි හොඳ බීජ වපුළ මනුෂ්‍යයෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ. මනුෂ්‍යයන් නිදාසිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය. කොළ වැඩී කරල් හටගත් කල කිරිඳිත් පෙනුණේය. එවිට ගෙදර ස්වාමියාගේ දාසයෝ ඇවිත්: ස්වාමිනි, ඔබගේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේද? එසේවී නම් කිරිඳ කොයින් දැයි ඔහුට කීවෝය. සතුරෙක් මේක කරලා තිබේයයි ඔහු කීවේය. එවිට දාසයෝ කථාකොට: එසේවී නම් අප ගොස් ඒවා උදුරාදමනවාට ඔබ කැමතිදැයි ඔහුගෙන් ඇසුවෝය. එහෙත් ඔහු උත්තරදෙමින්: එසේ නොකරන්න; නුඹලා කිරිඳි උදුරන කල තිරිඟුත් ඒ සමඟ ඉදිරෙන්ට පුළුවන. කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට අරින්න. කපන කාලයේදී–පළමුකොට කිරිඳි එකතුකර දවන පිණිස මිටි බඳින්න. නුමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස්කරන්නැයි කපන්නන්ට කියන්නෙමියි කීවේයයි කීසේක.

Free Reading Plans and Devotionals related to ශු. මතෙව් 13:1-30