YouVersion Logo
Search Icon

ශු. ලූක් 24

24
හිස්වූ සොහොන
1නුමුත් සතියේ පළමුවෙනිදා ඉතා අලුයම තමුන් විසින් සූදානම්කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ඔව්හු සොහොන් ගෙය ළඟට ගොස්, 2ගල සොහොන් ගෙයින් අහකට පෙරළා තිබෙනවා දුටුවෝය. 3ඔව්හු ඇතුල්වූ කල ස්වාමීවූ යේසුස්වහන්සේගේ ශරීරය නුදුටුවෝය. 4තවද ඔවුන් ඒ ගැන වියවුල්ව සිටියදී, බලව, දිලියෙන වස්ත්‍ර ඇන්දවූ මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියෝය. 5ඔවුන් භයපත්ව තමුන්ගේ මුහුණු බිමට නමාගත් කල ඒ මනුෂ්‍යයෝ කථාකොට: ජීවත්ව සිටින තැනැත්තා මළවුන් අතරේ නුඹලා සොයන්නේ මක්නිසාද? 6උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ නැගුටුණුසේක. 7මනුෂ්‍ය පුත්‍රයා පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්ටත් කුරුසියෙහි ඇණගසනු ලබන්ටත් තුන්වෙනිදා නැවත නැගිටින්ටත් ඕනෑය කියා උන්වහන්සේ ගලීලයේ සිටියදී කථාකළ හැටි සිහිකරන්නැයි ඔවුන්ට කීවෝය. 8එකල ඔව්හු උන්වහන්සේගේ වචන සිහිකොට සොහොන් ගෙයින් හැරී ඇවිත්, 9මේ සියල්ල එකොළොස් දෙනාටද අනික් සියල්ලන්ටද දැන්වුවෝය. 10ඒ ස්ත්‍රීහු නම් මග්දලායේ මරියාත් යොවන්නාත් යාකොබ්ගේ මවුවූ මරියාත්ය. ඔවුන් සමඟ අනික් ස්ත්‍රීහුද ප්‍රේරිතයන්ට මේ දේ කීවෝය. 11මේ වචන ඔවුන්ට නිරර්ථක කථාවක් මෙන් පෙනී, ඔව්හු ඔවුන් අවිශ්වාසකළෝය. 12නුමුත් පේතෘස් නැගිට සොහොන් ගෙය ළඟට දුවගන ගොස්, නැමී බලා, හණ රෙදි පමණක් තිබෙන බව දැක, සිද්ධවූ කාරණාව ගැන පුදුමවෙමින් සිය නිවෙසට ගියේය.
එම්මාවුස්හි ගෝලයන් දෙන්නාට ප්‍රකාශවීම
13බලව, ඔවුන්ගෙන් දෙදෙනෙක් ඒ දවසේම යෙරුසලමේ සිට දෙගව්වක් පමණ දුරවූ එම්මාවුස් නම් ගමකට යද්දී, 14සිද්ධවූ ඒ සියල්ල ගැන කථාකළෝය. 15තවද ඔවුන් කථාකරමින් විචාරමින් සිටියදී යේසුස්වහන්සේම ඔවුන් ළඟට පැමිණ ඔවුන් සමඟ ගියසේක. 16නුමුත් ඔවුන් උන්වහන්සේ නාඳුනන ලෙස ඔවුන්ගේ ඇස් බැඳී තිබුණේය. 17උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා කථාකර කර යන්නාවූ මේ කාරණා මොනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු දුක්ඛිත මුහුණුවලින් යුක්තව නැවතුණෝය. 18ඔවුන්ගෙන් ක්ලෙයෝපස් නම් එක්කෙනෙක් උන්වහන්සේට උත්තරදෙමින්: මේ දවස්වලදී යෙරුසලමෙහි විදේශීව සිටිමින්, එහි සිදුවූ කාරණා නොදන්නේ නුඹ පමණක්දැයි උන්වහන්සේට කීවේය. 19මොන කාරණාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට කථාකොට: නාසරිය යේසුස්වහන්සේ ගැන කාරණය. උන්වහන්සේ දෙවියන්වහන්සේද මුළු සෙනඟද ඉදිරියෙහි ක්‍රියාවෙහිත් කථාවෙහිත් බලවත්වූ අනාගතවක්තෘ කෙනෙක්ව සිටිසේක. 20නායක පූජකයෝද අපගේ මුලාදෑනීහුද උන්වහන්සේ මරණයට පාවාදී කුරුසියෙහි ඇණගැසුවෝය. 21නුමුත් ඉශ්‍රායෙල් මුදාගන්ට සිටි තැනන්වහන්සේ උන්වහන්සේයයි අපි බලාපොරොත්තුවුණෙමුව. එපමණකුත් නොව මේ දේ සිද්ධවී අදට තුන්වෙනි දවසය. 22තවද අපේ සමාගම්කාරවූ සමහර ස්ත්‍රීහු අලුයම සොහොන් ගෙය ළඟට ගොස්, 23උන්වහන්සේගේ ශරීරය නොදැක ඇවිත්, ඔවුන්ට දර්ශනයවූ දේවදූතයන් උන්වහන්සේ ජීවත්ව සිටිනසේකැයි කී බව කියා අප විස්මිතකළෝය. 24අප සමඟ සිටියවුන්ගෙන් සමහරෙක් සොහොන්ගෙය ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙසම දුටුවෝය. නුමුත් ඔව්හු උන්වහන්සේ නුදුටුවෝයයි කීවෝය. 25එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: අඥානයෙනි, අනාගතවක්තෘවරුන් විසින් කියනලද සියල්ල විශ්වාසකරන්ට ප්‍රමාද සිත් ඇත්තෙනි, 26ක්‍රිස්තුස්වහන්සේ ඒ දේ විඳලාම ස්වකීය මහිමයට පැමිණෙන්ට යුතුව තිබුණා නොවේද කියා, 27මෝසෙස්ගෙන්ද සියලු අනාගතවක්තෘවරුන්ගෙන්ද පටන්ගෙන, සියලු ලියවිලි වල තමන් ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරාදුන්සේක. 28ඔව්හු යන්ට ගිය ගමට ළංවූවෝය. උන්වහන්සේ වනාහි වඩා දුර යන්නාක්මෙන් දැක්වූසේක. 29නුමුත් ඔව්හු: දවස බොහෝ ගතවී, සවස්වේගන එන බැවින්, අප සමඟ නැවතුණ මැනව කියා උන්වහන්සේට උදක්ම පෙරැත්තකළෝය. උන්වහන්සේ ඔවුන් සමඟ නවතින්ට ඇතුළට ගියසේක. 30තවද උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට වාඩිවූ කල්හි, රොටි රැගෙන ආශීර්වාදකොට කඩා ඔවුන්ට දුන්සේක. 31එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔව්හු උන්වහන්සේ ඇඳිනගත්තෝය; එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක. 32එකල ඔව්හු: උන්වහන්සේ අප සමඟ මගදී කථාකළ කල්හිත් ලියවිලි අපට තෝරාදුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදැයි එකිනෙකා කථා කරගත්තෝය. 33ඔව්හු එම පැයේදීම නැගිට යෙරුසලමට හැරී ඇවිත්, එකොළොස් දෙනාද ඔවුන් සමඟ සිටියවුන්ද රැස්ව: 34ස්වාමීන්වහන්සේ සැබවින්ම නැගුටුණුසේක, සීමොන්ට පෙනුණුසේකැයි කියමින් සිටිනවා දුටුවෝය. 35එවිට ඔව්හු මගදී සිද්ධවූ කාරණාද රොටි කැඩීමේදී ඔවුන් උන්වහන්සේ ඇඳිනගත් හැටිද කීවෝය.
එකොළොස් දෙනාට ප්‍රකාශවීම
36ඔවුන් මෙසේ කථාකරමින් සිටියදී උන්වහන්සේ ඔවුන් මැද සිට: නුඹලාට සමාදානය වේවායි ඔවුන්ට කීසේක. 37නුමුත් ඔව්හු ත්‍රස්තව, භයපත්ව, ආත්මයක් පෙනුණේයයි සිතුවෝය. 38උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා කැලඹෙන්නේ මක්නිසාද? නුඹලාගේ සිත්වල ශංකා හටගන්නේ මක්නිසාද? 39මාගේ අත් පා බලා, ඒ මමම බව දැනගන්න. මා අතගා බලන්න. මක්නිසාද මස් හා ඇට මට තිබෙනවා නුඹලාට පෙනෙන ලෙස ආත්මයකට නැතැයි කීසේක. 40උන්වහන්සේ මෙසේ කියා, තමන් අත් පා ඔවුන්ට පෙන්වූසේක. 41ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකර පුදුමව සිටියදී, උන්වහන්සේ ඔවුන්ට කථාකොට: කන්ට යමක් මෙහි නුඹලා ළඟ තිබේදැයි ඇසූසේක. 42ඔව්හු බැදපු මාලු කෑල්ලක් උන්වහන්සේට දුන්නෝය. 43උන්වහන්සේ එය රැගෙන ඔවුන් ඉදිරියෙහි කෑසේක.
44උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහිද අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලද ගීතිකාවලද ලියනලද සියල්ල සම්පූර්ණ විය යුතුයයි මා නුඹලා සමඟ සිටියදීම නුඹලාට කී වචන මේයයි කීසේක. 45එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා, 46ඔවුන්ට කියනසේක්: මෙසේ ක්‍රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්, 47යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ. 48නුඹලා මේ දේවලට සාක්ෂිකාරයෝය. 49බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නුමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.
ස්වර්ගයට නැගීම
50උන්වහන්සේ ඔවුන් බෙතානිය දක්වා කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාදකළසේක. 51තවද උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කරද්දී ඔවුන් කෙරෙන් වෙන්ව, ස්වර්ගයට ඔසවාගනු ලැබූසේක. 52ඔව්හු උන්වහන්සේට නමස්කාරකොට, මහත් ප්‍රීතියෙන් යෙරුසලමට හැරී ඇවිත්, 53නිතරම දේවමාළිගාවෙහි දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින් සිටියෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy