YouVersion Logo
Search Icon

ශු. ලූක් 22:1-20

ශු. ලූක් 22:1-20 SROV

පාස්කුව නම්වූ මුහුන් නොදැමූ රොටි කන මංගල්‍යය ළං විය. නායක පූජකයෝද ලියන්නෝද උන්වහන්සේ නසන්නේ කෙසේදැයි සෙවුවෝය; මක්නිසාද ඔව්හු සෙනඟට භයව සිටියෝය. එවිට දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ ඉස්කාරියොත් නම් යූදස්ට සාතන් ආවේශවිය. ඔහු ගොස්, නායක පූජකයන්ට සහ අධිපතීන්ටත් උන්වහන්සේ පාවාදෙන්නේ කෙසේද කියා ඔවුන් සමඟ කථාකරගත්තේය. ඔව්හු සතුටුව ඔහුට මිල දෙන්ට ගිවිස්සෝය. ඔහු ඊට එකඟවී, සමූහයා ළඟ නැති විටක උන්වහන්සේ ඔවුන්ට පාවාදෙන්ට ප්‍රස්තාවක් සෙවීය. තවද පාස්කුව පූජාකළ යුතුවූ මුහුන් නොදැමූ රොටි කන දවස පැමුණුණේය. එවිට උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යවමින්: නුඹලා ගොස් අප විසින් පාස්කුව කන පිණිස පිළියෙළකරන්නැයි කීසේක. කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමතිසේක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: බලව, නුඹලා නුවරට ඇතුල්වූ විට, මනුෂ්‍යයෙක් පැන් කළයක් ගෙනයනවා නුඹලාට සම්බවන්නේය; ඔහු යන ගෙදරට ඔහු පස්සේ ගොස්, ගෙයි ස්වාමියාට කථාකොට: මා විසින් මාගේ ගෝලයන් සමඟ පාස්කුව කන්ට හැකිවූ ආගන්තුක ශාලාව කොතනද කියා ආචාරීන් අසනවායයි කියන්න. සූදානම්කර තිබෙන මහත් උඩුමහලක් ඔහු නුඹලාට පෙන්වනවා ඇත. එහි පිළියෙළකරන්නැයි කීසේක. ඔව්හු ගොස්, උන්වහන්සේ කී ලෙස සම්බව, පාස්කුව පිළියෙළකළෝය. පැය පැමිණි කල උන්වහන්සේද උන්වහන්සේ සමඟ ප්‍රේරිතයෝද හිඳගත්තෝය. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: වධවිඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමඟ කන්ට අතිශයෙන් ආශාවුණෙමි. මක්නිසාද නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහිදී ඒක සම්පූර්ණවන තුරු මම ඒක නොකන්නෙමියි කීසේක. උන්වහන්සේ කුසලානක් ලැබ, ස්තුතිකොට: මේක ගෙන නුඹලා අතරේ බෙදාගන්න. මක්නිසාද නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මෙතැන් පටන් මම මිදිවැලේ ඵලයෙන් නොබොන්නෙමියි කීසේක. උන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක. එලෙසම රාත්‍රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy