YouVersion Logo
Search Icon

ශු. ලූක් 2

2
යේසුස්වහන්සේගේ උත්පත්තිය
1තවද ඒ දවස්වලදී මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගොස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය. 2මේ වනාහි කිරේනියස් සිරියාගේ ආණ්ඩුකාරයාව සිටියදී කළ පළමුවෙනි ලේඛනයයි. 3සියල්ලෝ ලියවෙන්ට තම තමුන්ගේ නුවරවලට ගියෝය. 4යෝසෙප්ද දාවිත්ගේ වංශයටත් පෙළපතටත් අයිති බැවින්, 5තමාට විවාහබස් දුන් ගර්භිණීව සිටි මරියා සමඟ ලියවෙන්ට, ගලීලයෙහිවූ නාසරෙත් නුවරින් පිටත්ව යුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවරට ගියේය. 6තවද ඔවුන් එහි සිටියදී ඇගේ බිහිකරන කාලය සම්පූර්ණවිය. 7ඈ කුලුඳුල් පුත්‍රයා බිහිකර, රෙදිවලින් ඔතා, නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය.
8තවද එම රටෙහි එඬේරු රෑ යාමයෙන් යාමට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේසම්කරමින් පිට්ටනියෙහි සිටියෝය. 9එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔවුන් ළඟ සිටියේය, ස්වාමීන්වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුණේය. ඔව්හු අතිශයින් භයපත්වූහ. 10දේවදූතයා ඔවුන්ට කථාකොට: භය නොවෙන්න; බලව, මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. 11මක්නිසද ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක. 12රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය; මේක නුඹලාට ලකුණයයි කීවේය. 13එකෙණෙහිම ඒ දේවදූතයා සමඟ මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්:
14ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි
කීවෝය.
15තවද දේවදූතයන් ඔවුන් කෙරෙන් ස්වර්ගයට ගිය කල එඬේරු ඔවුනොවුන් කථාකොට: දැන්ම බෙත්ලෙහෙමට ගොස් ස්වාමීන්වහන්සේ විසින් අපට දන්වනලද සිද්ධවූ මේ දෙය බලමුව කියා, 16වහාම ගොස්, මරියාද යෝසෙප්ද ගවයන් කන ඔරුවේ බාවා උන් ළදරුවාද දුටුවෝය. 17ඔව්හු ඒ දැක, මේ ළදරුවා ගැන තමුන්ට කී දේ දැන්වුවෝය. 18ඒ ඇසූ සියල්ලෝ තමුන්ට එඬේරුන් විසින් කියනලද දේවලට පුදුමවූවෝය. 19නුමුත් මරියා ඒ සියලු කීම් සිතේ තබාගෙන මෙනෙහිකළාය. 20එඬේරු වනාහි තමුන්ට කී ලෙසම ඇසූ දුටු සියල්ල ගැන දෙවියන්වහන්සේට ගෞරවකරමින්ද ප්‍රශංසාකරමින්ද හැරී ගියෝය.
21උන්වහන්සේ චර්මඡේදනයකිරීමට අට දවස සම්පූර්ණවූ කල, උන්වහන්සේ කුසෙහි පිළිසිඳෙන්ට පළමුවෙන් දේව දූතයා විසින් කියනලද යේසුස් යන නාමය උන්වහන්සේට තබනලද්දේය.
යේසුස්වහන්සේ දේවමාළිගාවෙහි ඔප්පුකරනු ලැබීම
22මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ඔවුන්ගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල: කුලුඳුල්වූ සියලු පිරිමි ස්වාමීන්වහන්සේට කැපයයි කියනු ලබන්නෝයයි 23ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස, උන්වහන්සේ ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිසද, 24ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි කියා තිබෙන හැටියට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජාකරන පිණිසද, ඔව්හු උන්වහන්සේ යෙරුසලමට ගෙනාවෝය.
සිමියොන් සහ ආනා
25බලව, යෙරුසලමෙහි සිමියොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය; මේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල්ගේ සැනසීම බලා සිටියාවූ ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ කෙනෙක්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු කෙරෙහිවූසේක. 26ස්වාමීන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදක්නේය කියා ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ඔහුට එළිදරව්කර තිබුණේය. 27ඔහු ආත්මයාණන් කරණකොටගෙන දේවමාළිගාවට ආවේය. ළදරු යේසුස්වහන්සේට ව්‍යවස්ථාවේ සිරිත ලෙස කරන පිණිස මවුපියන් විසින් උන්වහන්සේ ගෙනා විට, 28ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින් කියනුයේ:
29ස්වාමීන්වහන්ස, දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක;
30මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ්‍රායෙල් සෙනඟගේ තේජසදවූ
31සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙළකළාවූ
32ගැළවීම මාගේ ඇස්වලින් දුටිමියි
කීවේය. 33උන්වහන්සේ ගැන කී කාරණාවලට උන්වහන්සේගේ පියාද මෑණියෝද මවිතවෙමින් සිටියෝය. 34සිමියොන් ඔවුන්ට ආශීර්වාදකර, උන්වහන්සේගේ මවුවූ මරියාට කථාකොට: බලව, මේ ළදරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම පිණිසත් නැගිටීම පිණිසත් විරුද්ධව කථාකරනු ලබන ලකුණක් පිණිසත් නියමවී සිටියි; 35එසේය, නුඹේම ආත්මයට කඩුවකින් අනිනු ලැබේ; මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි කල්පනා එළිදරව්වන පිණිසයයි කීවේය. 36තවද ආෂෙර්ගේ ගෝත්‍රයේ ඵානුයෙල්ගේ දූවූ, ඉතා වයස්ගතවූ, ආනා නම් අනාගතවක්ත්‍රියක් සිටියාය. ඈ කන්‍යාවස්ථාවෙහි සිට සත් අවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමඟ වාසයකළාය, 37අවුරුදු අසූහතරක්ම ඈ වැන්දඹුවක්ව සිටියාය; ඈ දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය. 38ඈද ඒ පැයෙහිම ඇවිත් දෙවියන්වහන්සේට ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය.
යේසුස්වහන්සේගේ ළමා කාලය
39ඔව්හු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියල්ල ඉෂ්ටකළ පසු, ගලීලයෙහිවූ නාසරෙත් නම් තමුන්ගේම නුවරට හැරී ගියෝය.
40ළදරුවා වැඩී, ශක්තිමත්ව, ප්‍රඥාවෙන් පූර්ණවූසේක. දෙවියන්වහන්සේගේ කරුණාවද උන්වහන්සේ කෙරෙහි විය.
41උන්වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු මංගල්‍යය පිණිස යෙරුසලමට ගියෝය. 42උන්වහන්සේට දොළොස් අවුරුදු වයස්වූ කල ඔව්හු මංගල්‍ය සිරිත් ලෙස ගියෝය. 43ඔවුන් නියම දවස් ගතකොට හැරී එද්දී, යේසුස් නම් ළමයා යෙරුසලමෙහි නැවතී සිටිසේක; නුමුත් උන්වහන්සේගේ මවුපියෝ ඒ බව නොදැන, 44උන්වහන්සේ ගමන් යන අය සමඟයයි සිතා, දවසක ගමන් ගොස්, නෑයන්ද අඳුනන්නවුන්ද අතරෙහි උන්වහන්සේ සෙවුවෝය. 45උන්වහන්සේ සම්බ නුවූ බැවින්, ඔව්හු උන්වහන්සේ සොයමින් යෙරුසලමට ආපසු ගියෝය. 46තවද තුන් දවසකට පසු, උන්වහන්සේ දේවමාළිගාවෙහි පණ්ඩිතයන් මැද වාඩිවී, ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්නවා ඔව්හු දුටුවෝය. 47උන්වහන්සේගේ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූහ. 48ඔව්හු උන්වහන්සේ දැක මවිතවූවෝය. උන්වහන්සේගේ මෑණියෝ: පුත්‍රය, කුමක් නිසා අපට මෙසේ කෙළෙහිද? බලව, නුඹේ පියාද මමද සෝකවෙමින් නුඹ සෙවුවෙමුයයි කීවාය. 49එවිට උන්වහන්සේ: නුඹලා මා සෙවුවේ මක්නිසාද? මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්දැයි ඔවුන්ට කීසේක. 50නුමුත් උන්වහන්සේ ඔවුන්ට කී කීම ඔවුන් තේරුම්ගත්තේ නැත. 51උන්වහන්සේ ඔවුන් සමඟ ගොස් නාසරෙත්ට පැමිණ, ඔවුන්ට යටත්ව සිටිසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියලු කීම් සිතේ තබාගත්තාය.
52යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණුසේක.

Currently Selected:

ශු. ලූක් 2: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy