ලෙවී කථාව 4
4
පාප පූජා
1තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 2ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න–නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ විසින් අණකළ කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව්කොට එයින් එකක් කළොත්, [ඔහු මෙසේ කළ යුතුය.] 3සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා. 4ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ස්වාමීන්වහන්සේ ඉදිරියට ගොනා ගෙනවුත් තමාගේ අත ගොනාගේ හිස පිට තබා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මරන්ට ඕනෑය. 5එවිට ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයින් මඳක් රැගෙන එය සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනා යුතුය. 6පූජකයාද තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ශුද්ධස්ථානයේ තිරය ඉදිරිපිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒ ලෙයින් සත් වරක් ඉසිය යුතුය. 7තවද පූජකයා ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමෙහි තිබෙන සුවඳ දුම් පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ගොනාගේ ලේ සියල්ල වත්කළ යුතුය. 8ඔහු ශාන්ති පූජාවේ ගොනාගෙන් තෙල වෙන්කොට ගත්තාක් මෙන් පාප පූජා ගොනාගේ තෙල සියල්ලද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන මුළු තෙලද, 9වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කළ යුතුය. 10පූජකයා දවන පූජාසනය පිට 11ඒවා දවා ගොනාගේ හමද උගේ මාංස සියල්ලද හිසද කකුල්ද 12අතුණු සහ ගොමද යන මුළු ගොනා කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙනගොස් දර පිට ගින්නෙන් දවන්නේය. අළු දමන ස්ථානයෙහි ඌ පුලුස්සා දැමිය යුතුය.
13මුළු ඉශ්‍රායෙල් සභාව වැරදි දෙයක් කළොත්, ඒ දෙය සමූහයාගේ ඇස් ඉදිරියෙන් සැඟවී තිබේ නම්, නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් කොට ඔව්හු වැරදිකාරයෝ වූවෝනම්, 14ඔවුන් කළ පාපය දැනගත් කල සමූහයා පාප පූජාවක් පිණිස ගොන් නාම්බෙකු ඔප්පුකර ඌ සම්මුඛවීමේ කූඩාරම ඉදිරියට ගෙනා යුතුය. 15සභාවේ වැඩිමහල්ලෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමන්ගේ අත් ගොනාගේ හිස පිට තැබිය යුතුය. තවද ගොනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මරනු ලබන්නේය. 16ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයෙන් මඳක් සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනවුත්, 17තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිරය ඉදිරිපිට සත් වරක් එය ඉසිය යුතුය. 18තවද ඔහු ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ තිබෙන පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ඉතිරි ලේ සියල්ල වත්කළ යුතුය. 19ඔහු උගේ තෙල සියල්ලම අහක්කොට ඒවා පූජාසනය පිට දැවිය යුතුය. 20ඔහු ගොනාට මෙලෙස කළ යුතුය; පාප පූජාවේ ගොනාට කළාක් මෙන් මේ ගොනාටත් කළයුතුය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔව්හු ක්ෂමාකරනු ලබන්නෝය. 21ඔහු ඒ ගොනා කඳවුරෙන් පිටතට ගෙනගොස් ප්‍රථම ගොනා දැවුවාක් මෙන් ඌ දැවිය යුතුය. එය සමූහයා උදෙසා පාප පූජාවය.
22අධිපතියෙක් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොකටයුතුයයි අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කොට වැරදිකාරයෙක්ව සිටින කල, 23තමා කළාවූ පාපය ඔහු දැනගත්තොත්, පූජාව පිණිස එළුවන්ගෙන් කැලල් නැති පිරිමි සතෙකු ගෙනවුත්, 24තමාගේ අත එළුවාගේ හිස පිට තබා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාව මරන තැන්හිදී ඌ මරාවා. එය පාප පූජාවක්ය. 25පූජකයාද තමාගේ ඇඟිල්ලෙන් පාප පූජාවේ ලේ ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ දවන පූජාසනය මුල වත්කෙරේවා. 26උගේ තෙල සියල්ලම ශාන්ති පූජාවේ තෙල මෙන් පූජාසනය පිට දවන්ට ඕනෑය. මෙසේ පූජකයා ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, එවිට ඔහු ක්ෂමා කරනු ලබන්නේය.
27පොදු සෙනඟගෙන් කිසිවෙක් නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කිරීමෙන් වැරදිකාරයෙක් වී නම්, 28ඔහු තමා කළ පාපය ඔහු දැනගත්තොත් තමා කළාවූ පාපය නිසා එළුවන්ගෙන් කැලල් නැති ගෑනු සතෙකු ඔහුගේ පූජාව පිණිස ගෙනා යුතුය. 29ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාවේ ස්ථානයෙහි පාප පූජාවේ සතා මරාවා. 30පූජකයාද උගේ ලෙයින් මඳක් තමාගේ ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා. 31ශාන්ති පූජාවලින් තෙල ගත්තාක් මෙන් උගේ තෙල සියල්ල ගෙනවුත් එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.
32ඉදින් ඔහු පාප පූජාවක් පිණිස බැටළු පැටවෙකු ගෙනෙන්නේනම් කැලල් නැති ගෑනු සතෙකු ගෙනේවා. 33ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාව මරන තැන්හිදී ඌ පාප පූජාවක් පිණිස මැරිය යුතුය. 34පූජකයා පාප පූජාවේ ලෙයින් මඳක් ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා. 35ශාන්ති පූජාවල බැටළුපැටවාගෙන් තෙල් ගත්තාක් මෙන් පූජකයා උගේ තෙල සියල්ල වෙන්කොට ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජා මතුයෙහි පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු කළාවූ පාපය උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.
Currently Selected:
ලෙවී කථාව 4: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society