YouVersion Logo
Search Icon

යෝෂුවා 17

17
මනස්සේගේ කොටස
1යෝසෙප්ගේ කුලුඳුලාවූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේය. මනස්සේගේ කුලුඳුලාවූ, ගිලියද්ගේ පියවූ මාකීර් යුද්ධකාර මනුෂ්‍යයෙක් බැවින් ඔහුට ගිලියද්ද බාෂාන්ද ලැබුණේය. 2මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබියෙසෙර්ගේ පුත්‍රයන්ටද හේලෙක්ගේ පුත්‍රයන්ටද අස්රීයෙල්ගේ පුත්‍රයන්ටද ෂෙකෙම්ගේ පුත්‍රයන්ටද හේපෙර්ගේ පුත්‍රයන්ටද ෂෙමිදාගේ පුත්‍රයන්ටද ඔවුන්ගේ පවුල්වල හැටියට කොටස් ලැබුණේය. තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ පිරිමි දරුවෝ මොව්හුය. 3නුමුත් මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයා වන හෙඵෙර්ගේ පුත්‍රවූ ශෙලෝඵෙහාද්ට දූවරුන් මිස පුත්‍රයෝ නුවූහ. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශාය. 4ඔව්හු පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද අධිපතීන්ද ඉදිරියට අවුත්: ස්වාමීන්වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දෙන්ට මෝසෙස්ට අණ කළසේකැයි කීවෝය. එබැවින් ඔහු ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය. 5යොර්දානෙන් එගොඩ තිබෙන ගිලියද්ද බාෂාන්ද හැර මනස්සේට කොටස් දසයක් වැටුණේය. 6මක්නිසාද මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණේය. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේය. 7මනස්සේගේ සීමාව ආෂෙර් පටන් ෂෙකෙම් ඉදිරියෙහි තිබෙන මික්මෙතාත් දක්වා විය; එතනින් සීමාව දකුණට ඒන්-තප්පුවාහි වාසීන් කරා ගියේය. 8තප්පුවා රට මනස්සේට අයිති විය. එහෙත් මනස්සේගේ සීමාවේ තිබුණු තප්පුවා එප්‍රායිම් පුත්‍රයන්ට වුණේය. 9එතනින් සීමාව කානා ඔයට දකුණෙන් ඔය ළඟට බැස්සේය. මේ නුවරවල් මනස්සේගේ නුවරවල් අතරේ එප්‍රායිම්ට හිමිවිය. මනස්සේගේ සීමාව ඔයට උතුරෙන් වැටී මුහුද ළඟ කෙළවර වුණේය. 10දකුණු පැත්ත එප්‍රායිම්ටද උතුරු පැත්ත මනස්සේටද අයිතිය, තවත් ඔහුගේ සීමාවක් මුහුදය; ඒවා උතුරෙන් ආෂෙර්ටත් නැගෙනහිරෙන් ඉස්සාඛර්ටත් යාව තිබේ. 11තවද ඉස්සාඛර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නුවරවල්ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නුවරවල්ද දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද ඒන්-දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද තයනාක් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද මෙගිද්දෝ වැසියන් සහ ඊට අයිති නුවරවල්ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේය. 12එහෙත් මනස්සේ පුත්‍රයන්ට ඒ නුවරවල වැසියන් එළවන්ට නොහැකි විය; කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමැතිව සිටියෝය. 13ඉශ්‍රායෙල් පුත්‍රයන් ශක්තිමත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට පත් කළෝය, එහෙත් ඔවුන් සහමුලින් පන්නා නොදැමූහ.
14යෝසෙප්ගේ පුත්‍රයෝ යෝෂුවාට කථාකොට: ස්වාමීන්වහන්සේ මේ දක්වා අපට ආශීර්වාදකළ බැවින් අප මහත් සෙනඟක්ව සිටියදී ඔබ එක කොටසක්ද එක පංගුවක්ද පමණක් අපට උරුමයක් කොට දුන්නේ මක්නිසාදැයි කීවෝය. 15යෝෂුවා උත්තරදෙමින්: නුඹලා මහත් සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට නුඹලාට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේද රෙඵාවරුන්ගේද රටෙන් කොටසක් එළිකර ගන්නැයි ඔවුන්ට කීවේය. 16යෝසෙප්ගේ පුත්‍රයෝ කථාකොට: කඳුරට අපට මදිය. මිටියාවත් රටෙහි එනම් බෙත්-ෂෙයාන්හිද ඊට අයිති නුවරවලද යෙශ්‍රෙයෙල් මිටියාවතෙහිද වාසයකරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේයයි කීවෝය. 17යෝෂුවා එප්‍රායිම්ද මනස්සේද යන යෝසෙප්ගේ වංශයට කථාකොට: නුඹලා මහත් සෙනඟක්ය, නුඹලාට බොහෝ බලය ඇත්තේය. නුඹලාට ලැබෙන්නේ එක කොටසක් පමණක් නොවේය. 18කඳු රටත් නුඹලාට අයිතිවන්නේය; එය වනාන්තරයක් නුමුත් නුඹලා එය කපා එළිකරගන්න, එවිට සීමා දක්වාම එය නුඹලාට වන්නේය. කානානිවරුන්ට යකඩ රථ තිබෙන නුමුත්, ඔවුන් ශක්තිමත්ව සිටින නුමුත්, නුඹලා ඔවුන් පන්නා දමනවා ඇතැයි කීවේය.

Currently Selected:

යෝෂුවා 17: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy