YouVersion Logo
Search Icon

ජෝවෙල් 2

2
භයානක පළඟැටි හමුදාව
1සියොන්හි හොරණෑව පිඹ, මාගේ ශුද්ධවූ කන්දෙහි මහත් ශබ්දයක් පවත්වන්න; දේශයේ සියලු වැසියෝ වෙවුලත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙයි, ඒක ළංව තිබේ; 2ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත. 3උන්ට පෙරටුවෙන් ගින්නක් නාස්තිකරන්නේය; උන්ට පස්සෙන් ගිනිදැල්ලක් ඇවිළෙන්නේය. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබී, උන්ට පස්සෙන් පාළු කාන්තාරයක් වන්නේය; උන්ගෙන් කිසිවක් නොගැළවුණේය. 4උන්ගේ පෙනීම අසුන්ගේ පෙනීම මෙන්ය; උන් අසරුවන් මෙන් දුවති. 5කඳු මුදුන් පිට යන්නාවූ රථ ශබ්දය මෙන්ද ඉපනැලි දවන ගිනිදැල්ලේ ශබ්දය මෙන්ද යුද්ධ පිළිවෙළට සිටින බලවත් සෙනඟක් මෙන්ද උන් පනින්නෝය. 6උන් ඉදිරියෙහි ජනයෝ වෙවුලති. සියලු මුහුණු සුදුමැලිවී තිබේ. 7උන් බලවතුන් මෙන් දුවති; යුද්ධකාරයන් මෙන් පවුරට නගිති; උන් තමුන්ගේ මාවත්වලින් අහක් නොවී, එක එකා තම තමාගේ මාර්ගයෙන්ම යන්නෝය. 8උන් එකිනෙකාට නොහැපී, තම තමාගේ පාරවලම යන්නෝය. උන් යුද්ධායුධ අතරේ වැටුණත් තුවාලවන්නේ නැත. 9උන් නුවර එහාමෙහා දුවති; පවුර පිට නැගීයති; ගෙවල්වලට නගිති; සොරෙකු මෙන් කවුළුවලින් ඇතුල්වෙති. 10උන් ඉදිරියෙහි පොළොව වෙවුලන්නේය; අහස සෙලවෙන්නේය. ඉර හඳ අඳුරුවන්නේය, තාරකාවල දිලිහීමද නවතින්නේය. 11ස්වාමීන්වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වනසේක; මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය; උන්වහන්සේ තමන් වචන ඉෂ්ටකරමින් බලවත්ව සිටිනසේක. එසේය, ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද?
පසුතැවිලිව යටත්වීමට ආරාධනාව
12එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැලපීමෙන්ද මා වෙතට හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. 13එසේය, නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගන, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන්වහන්සේ දයාවන්තවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ කෙනෙක්ය; උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක. 14සමහරවිට උන්වහන්සේ හැරී ඇවිත් තැවී, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකිරීමට ආහාර පූජාවක්ද පාන පූජාවක්ද අඩංගුවූ ආශීර්වාදයක් දීලා යනවා ඇද්දෝයි දන්නේ කවුද?
15සියොන්හි හොරණෑව පිඹ, ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකරන්න. 16සෙනඟ රැස්කර, ශුද්ධවූ සභාවක් පවත්වන්න, මහල්ලන් එකතුකර, ළමයින්ද කිරිදරුවන්ද එක්කාසුකරන්න. මනමාලයා තමාගේ ගෙයින්ද මනමාලී ඇගේ ඇතුල් ගෙයින්ද පිටතට එත්වා. 17ස්වාමීන්වහන්සේගේ සේවකවූ පූජකයෝ ද්වාරමණ්ඩපය සහ පූජාසනය අතරෙහි සිට අඬමින්: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟට කරුණාකළ මැනව, ඔවුන් කෙරෙහි ජාතීන් විසින් ආණ්ඩුකරන හැටියට ඔබගේ උරුමය නින්දාවට පාවා නුදුන මැනව. ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොතනදැයි ජනයන් අතරේ මක්නිසා කියනු ලබන්නේදැයි කියත්වා.
ප්‍රීතිදායක සමෘද්ධියක් හා පුදුම දේවාත්ම වැගිරවීමක් පොරොන්දුවීම
18එකල ස්වාමීන්වහන්සේ තමන්ගේ දේශය ගැන ජ්වලිතවී, තමන්ගේ සෙනඟට අනුකම්පාකළසේක. 19ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට උත්තරදෙමින්: මෙන්න, නුඹලා තෘප්තියට පැමිණෙන ලෙස ධාන්‍යද මිදියුසද තෙල්ද නුඹලා වෙත එවමි. මම ජාතීන් අතරෙහි නුඹලා තවත් නින්දාවක් නොකරන්නෙමි. 20මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත්කර, ඔවුන් නිසරු පාළු දේශයකටත්, ඔවුන්ගේ ඉස්සරහ කොටස නැගෙනහිර මුහුදටත්, පසු කොටස බස්නාහිර මුහුදටත් පන්නාදමන්නෙමි; මෙසේ ඔවුන් උඩඟුකම්කළ බැවින්, ඔවුන් ගඳගසා, ඔවුන්ගේ දුර්ගන්ධය නගින්නේයයි කියනවා ඇත. 21එම්බා දේශය, භය නොවී, ප්‍රීතිසන්තෝෂවෙන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දේ කළසේක. 22වනයේ මෘගයෙනි, භය නොවව්; මක්නිසාද කාන්තාරයේ ගොදුරු-බිම්වල තෘණ අටගනියි, ගස්ද ඵලදෙයි, අත්තික්කා ගසද මිදි වැලද ඒවායේ ස්වරසය දෙති. 23ඉතින් සියොන් පුත්‍රයෙනි, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිසන්තෝෂවෙන්න. මක්නිසාද උන්වහන්සේ නුඹලාට පළමුවෙනි වර්ෂාව නිසිතරමට දුන්සේක, තද වැස්ස වන පළමුවෙනි වර්ෂාවද පළමුවෙනි මාසයේ අන්තිම වර්ෂාවද උන්වහන්සේ නුඹලා උදෙසා වස්වනවා ඇත. 24එවිට කමත් ධාන්‍යවලින් පිරෙනවා ඇත. මිදියුසද තෙල්ද පැස්වලින් ඉතිරෙනවා ඇත. 25මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි. 26නුඹලා වනාහි කෑම කා තෘප්තියට පැමිණ, නුඹලා ගැන පුදුමලෙස ක්‍රියා කළාවු නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය වර්ණනාකරන්නහුය. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට පත් නොවන්නෝය. 27මා ඉශ්‍රායෙල්වරුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවිවු ස්වාමීන්වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා ඇත. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට නොපැමිණෙන්නෝය.
28ඉන්පසු මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය, නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත. 29ඒ දවස්වලදී දාසයන් සහ දාසීන් කෙරෙහි පවා මාගේ ආත්මය වගුරුවන්නෙමි. 30තවද අහසෙහිත් පොළොවෙහිත් පුදුම එනම් ලේද ගිනිද දුම්-කණුද පෙන්වන්නෙමි. 31ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය. 32තවද ස්වාමීන්වහන්සේගේ නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ ස්වාමීන්වහන්සේ කැඳවන අයද සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් සිටිනවා ඇත.

Currently Selected:

ජෝවෙල් 2: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy