YouVersion Logo
Search Icon

ශු. යොහන් 12

12
බෙතානියේදී මරියා විසින් යේසුස්වහන්සේ ආලේපකරනු ලැබීම
1යේසුස්වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පළමුවෙන් බෙතානියාට ආසේක. යේසුස්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටෙවුවාවූ ලාසරුස් එහි සිටියේය. 2එබැවින් ඔව්හු උන්වහන්සේට එහි කෑමක් පිළියෙළ කළෝය. මාර්තා උපස්ථානකළාය; එහෙත් ලාසරුස් උන්වහන්සේ සමඟ කෑමට හිඳගත්තවුන්ගෙන් එක්කෙනෙක් වූයේය. 3එවිට මරියා ඉතා අනර්ඝ ජටාමාංස තෙල් රාත්තලක් රැගෙන යේසුස්වහන්සේගේ පාද ආලේපකොට, ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැම්මාය. තෙලේ සුවඳින් ගේ පිරුණේය. 4එහෙත් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්වූ උන්වහන්සේ පාවාදෙන්ට සිටිය යූදස් ඉස්කාරියොත් කථාකොට: 5මේ තෙල මසු තුන්සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මක්නිසාදැයි කීවේය. 6ඔහු මේක කීවේ දිළිඳුන් සැලකූ නිසා නොව ඔහු සොරෙකු බැවිනුත් මුදල් පසුම්බිය භාරව එහි දැමූ දේ රැගෙනගිය බැවිනුත්ය. 7එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: මා තැන්පත්කරන දවසට මේ තෙල තබාගන්ට ඈට ඉඩ හරින්න. 8මක්නිසාද දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමියි කීසේක.
9එකල යුදෙව්වරුන්ගෙන් මහත් සමූහයක් උන්වහන්සේ එහි සිටිනසේකැයි දැන, යේසුස්වහන්සේ නිසා පමණක් නොව උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද ලාසරුස් දකින පිණිස ආවෝය. 10නුමුත් නායක පූජකයෝ ලාසරුස්වත් මරන්ට මන්ත්‍රණය කළෝය. 11මක්නිසාද ඔහු නිසා යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් අහක්ව ගොස් යේසුස්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.
යෙරුසලමට පෙරහරින් ඇතුල්වීම
12පසුවදා මංගල්‍යයට ඇවිත් සිටිය මහත් සමූහයක් යේසුස්වහන්සේ යෙරුසලමට එන සේකැයි අසා, 13තල් අතු රැගෙන උන්වහන්සේගේ පෙරමගට පිටත්ව ගොස්: හෝසන්නා! ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ තැනැත්තේ, එනම්, ඉශ්‍රායෙල්ගේ රජ ආශීර්වාදලද්දෙකැයි මොරගසා කීවෝය. 14සියොන් දියණියෙනි, භය නොවව. බලව, නුඹේ රජ කොටළු පැටවෙකු 15පිට නැගී එනසේකැයි ලියා තිබෙන හැටියට යේසුස්වහන්සේ කොටළු තරයෙකු ලැබ ඌ පිට හිඳගත්සේක. 16උන්වහන්සේගේ ගෝලයෝ ඒ කාරණා පළමුවෙන් තේරුම් නොගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ මහිමයට පැමිණිකල උන්වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවද ඔවුන් උන්වහන්සේට එසේ කළ බවද ඔව්හු සිහිකළෝය. 17එබැවින් උන්වහන්සේ ලාසරුස් සොහොන්ගෙයින් පිටතට කැඳවා මළවුන්ගෙන් නැගිටෙවු කල උන්වහන්සේ සමඟ සිටියාවූ සමූහයා සාක්ෂි දැරුවෝය. 18මේ ලකුණ උන්වහන්සේ දැක්වූසේකැයි සමූහයාට ආරංචිවූ බැවින් ඔව්හු උන්වහන්සේගේ පෙරමගට ගියෝය. 19එහෙයින් ඵරිසිවරු ඔවුනොවුන් කථාකරමින්: නුඹලාට කිසි ජයක් නැති හැටි බලන්න. අන්න, ලෝකයා ඔහු පස්සේ ගියෝයයි කීවෝය.
ග්‍රීක්වරුන්ගේ ඉල්ලීම.
20මංගල්‍යයේදී නමස්කාරකරන පිණිස පැමිණියවුන් අතරේ සමහර ග්‍රීකයෝ සිටියෝය. 21එවිට ඔව්හු ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ: මහතාණෙනි, අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමුයයි කීවෝය. 22පිලිප් ඇවිත් අන්දෘට කීවේය. අන්දෘද පිලිප්ද ඇවිත් යේසුස්වහන්සේට කීවෝය. 23යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පැය පැමිණ තිබේ. 24සැබවක් සැබවක් නුඹලාට කියමි–ගෝධුම බීජය පොළොවෙහි වැටී නොමළොත් තනිව තිබෙයි; නුමුත් මළොත් බොහෝ ඵල දෙයි. 25තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැතිවන්නේය; මේ ලෝකයෙහි තමාගේ ජීවිතයට වෛරකරන්නා සදාකාල ජීවනයට ඒක ආරක්ෂාකරගන්නේය. 26යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක. 27දැන් මාගේ සිත කැලඹෙයි; ඉඳින් කුමක් කියම්ද? පියාණෙනි, මේ පැයෙන් මා ගැළෙවුව මැනව. නුමුත් මේ පිණිසම මේ පැයට පැමුණුණෙමි. 28පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණෙවුව මැනවයි කීසේක. එවිට: මම එය මහිමයට පැමිණවීමි, නැවතත් මහිමයට පමුණුවන්නෙමියි අහසෙන් හඬක් නික්මුණේය. 29එබැවින් ළඟ සිටියාවූ ඒ ඇසූ සමූහයා: අහස ගෙරෙවුවේයයි කීවෝය. තවත් සමහරෙක්: දේවදූතයෙක් උන්වහන්සේට කථාකළේයයි කීවෝය. 30යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ හඬ මා නිසා නොව නුඹලා නිසා පැමිණියේය. 31මේ ලෝකයේ විනිශ්චය දැන්ය. මේ ලෝකයේ අධිපතියා දැන් පිටත දමනුලබන්නේය. 32මම වනාහි භූමියෙන් ඔසවනු ලැබුවොත් සියල්ලන් මා වෙතට ඇදගන්නෙමියි කීසේක. 33උන්වහන්සේ මෙසේ කීවේ තමන්වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙන්ට සිටිසේක්දැයි හඟවන පිණිසය. 34එබැවින් සමූහයා උන්වහන්සේට උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ සදාකල් සිටිනසේකැයි අපි ව්‍යවස්ථාවෙන් ඇසීමුව. එසේවී නම්–මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතුයයි ඔබ කියන්නේ කොහොමද? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුදැයි කීවෝය. 35එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: තව ස්වල්ප කලක් ආලෝකය නුඹලා අතරේ තිබේ. අන්ධකාරය නුඹලා කරා වහාම නොපැමිණෙන පිණිස නුඹලාට ආලෝකය තිබෙන කල ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ තමා කොතැනට යන්නේදැයි නොදනියි. 36නුඹලා ආලෝකයේ පුත්‍රයන් වන පිණිස ආලෝකය නුඹලාට තිබෙද්දී ආලෝකය කෙරෙහි අදහාගන්නැයි කීසේක. ‍
යේසුස්වහන්සේ මෙසේ කියා පිටත්ව ගොස් ඔවුන් කෙරෙන් සැඟවුණුසේක.
යුදෙව්වන්ගේ අවිශ්වාසය. සමහරෙක් රහසින් ගෝලයන් වීම
37උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි මෙපමණ ලකුණු දැක්වූ නුමුත් ඔව්හු උන්වහන්සේ කෙරෙහි අදහා නොගත්තෝය. 38මෙසේ සිද්ධවුණේ,
ස්වාමීන්වහන්ස, අපේ ප්‍රවෘත්තිය විශ්වාසක‍ළේ කවුද?‍
ස්වාමීන්වහන්සේගේ බාහුව කාට ප්‍රකාශකරනලද්දේදැයි අනාගතවක්තෘවූ යෙසායා කී වචනය සම්පූර්ණ වන පිණිසය.
39මේ නිසා ඔවුන්ට අදහාගන්ට නුපුළුවන්විය, මක්නිසාද යෙසායා නැවතත් කථාකොට:
40ඔවුන් තමුන්ගේ ඇස්වලින් නොදකින පිණිසත් හිතෙන් තේරුම් නොගන්නා පිණිසත් හරවනු නොලබන පිණිසත් මා විසින් සුවකරනු නොලබන පිණිසත් උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධකළසේක, ඔවුන්ගේ හිත් දැඩිකළසේකැයි කීය.
41යෙසායා උන්වහන්සේ ගැන කථාකරමින් මේ කාරණා කීවේ උන්වහන්සේගේ මහිමය දුටු නිසාය. 42එසේවී නුමුත් මුලාදෑනීන්ගෙන් පවා බොහෝදෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය; නුමුත් සිනගෝගයෙන් අහක්කරනු නොලබන පිණිස ඵරිසිවරුන් නිසා ඒ බව ප්‍රකාශ නොකළෝය. 43මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට ප්‍රියවූවෝය.
යේසුස්වහන්සේගේ ඉගැන්වීම සංක්ෂේපයෙන් සංග්‍රහකිරීමක්
44යේසුස්වහන්සේ ශබ්ද පවත්වමින් කියනසේක්: මා කෙරෙහි අදහන තැනැත්තේ මා කෙරෙහි නොව මා එවූ තැනන්වහන්සේ කෙරෙහි අදහාගනියි. 45මා දකින්නාද මා එවූ තැනන්වහන්සේ දකියි. 46මා කෙරෙහි අදහාගන්න කවරෙක් නුමුත් අන්ධකාරයෙහි නොසිටින පිණිස මම ලෝකයට ආලෝකයක්ව ආවෙමි. 47තවද යමෙක් මාගේ වචන අසා ඒවා නොපවත්වන්නේනම්, මම ඔහු විනිශ්චය නොකරමි. මක්නිසාද මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චයකරන්ට නොවේය. 48මා එපාකොට මාගේ වචන පිළිනොගන්නා විනිශ්චයකරන්නෙක් සිටිනසේක. මා කී වචනයම අන්තිම දවසේදී ඔහු විනිශ්චයකරන්නේය. 49මක්නිසාද මම මාගෙන්ම උපදවා කථා නොකෙළෙමි; නුමුත් මා එවූ මාගේ පියාණන්වහන්සේම මා විසින් කිය යුතු දේ ගැනත් කථාකළ යුතු දේ ගැනත් මට අණක් දී තිබේ. 50උන්වහන්සේගේ අණ සදාකාල ජීවනය බවද දනිමි. එබැවින් මා කථාකරන දේ පියාණන්වහන්සේ මට කියාදුන් ලෙසම කථාකරමියි කීසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy