YouVersion Logo
Search Icon

ජෙරෙමියා 27

27
බැඳුම් නැමති ලකුණ. අවට ජාතීන්ට සහ ශෙදෙකියා රජුට යටත්වෙන්ට අවවාද කිරීම
1යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී මේ වචනය ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණියේය. 2ස්වාමීන්වහන්සේ මට මෙසේ කියනසේක: නුඹ වියබාන් සහ වියගස් සාදාගෙන නුඹේ බෙල්ලේ තබාගන්න; 3පසුව ඒවා යෙරුසලමට, යූදාහි රජවූ ශෙදෙකියා වෙතට එන්නාවූ පණිවිඩකාරයන් අතින් ඒදොම්හි රජුටද මෝවබ්හි රජුටද අම්මොන් පුත්‍රයන්ගේ රජුටද තීර්හි රජුටද ශීදොන්හි රජුටද යවා, 4ඔවුන් තමුන්ගේ ස්වාමිවරුන්ට කියන පිණිස මෙසේ ඔවුන්ට අණකරන්න: නුඹලාගේ ස්වාමිවරුන්ට මෙසේ කියන්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක– 5මමම මාගේ මහත් බලයෙන්ද දිගුකළ මාගේ හස්තයෙන්ද පොළොව සහ පොළොව මතුපිට සිටින මනුෂ්‍යයාත් තිරිසනාත් මැවුවෙමි; මට හරිව පෙනෙන ලෙස මම කැමති අයට එය දෙමි. 6දැනුදු මමම මේ සියලු දේශ මාගේ සේවකයාවූ, බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ අතට දුනිමි; ඔහුට සේවයකරන්ට වනයේ සත්වයන්ද ඔහුට දුනිමි. 7ඔහුගේ දේශයේ කාලය පැමිණ, බොහෝ ජාතීන්ද මහත් රජවරුන්ද විසින් ඔහු දාසකමට ගන්න තුරු, සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ පුත්‍රයාගේ පුත්‍රයාටත් සේවයකරන්නෝය. 8යම් ජාතියක්වත් යම් රාජ්‍යයක්වත් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, බබිලෝනියේ රජුගේ වියගහේ තමුන්ගේ බෙල්ල නොතබන්නේ නම්, මම ඒ ජාතිය ඔහු ලවා නැතිකරවනතුරු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන්ට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. 9එබැවින්: නුඹලා බබිලෝනියේ රජුට සේවයකරන්නේ නැතැයි නුඹලාට කියන නුඹලාගේ අනාගතවක්තෘවරුන්ටද නුඹලාගේ පේනකියන්නන්ටද නුඹලාගේ ස්වප්නවලටද නුඹලාගේ මායම්කාරයන්ටද නුඹලාගේ මන්ත්‍රකාරයන්ටද ඇහුම්කන්නොදෙන්න. 10මක්නිසාද නුඹලාගේ රටෙන් නුඹලා දුරුකරන හැටියටත් මා විසින් නුඹලා පන්නාදමන හැටියටත් නුඹලා නැතිවන හැටියටත් ඔව්හු බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති. 11නුමුත් බබිලෝනියේ රජුගේ වියගහ යට තමුන්ගේ බෙල්ල තබා, ඔහුට සේවයකරන ජාතියට තමුන්ගේම රටෙහි නැවතී, එය වටා, එහි වාසය කරන්ට ඉඩහරින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
12මම යූදාහි රජවූ ශෙදෙකියාට මේ සියලු වචනවල හැටියට කථාකොට: බබිලෝනියේ රජුගේ වියගහේ නුඹලාගේ බෙල්ල තබා, ඔහුට සහ ඔහුගේ සෙනඟටත් සේවයකර ජීවත්වෙන්න. 13බබිලෝනියේ රජුට සේවය නොකරන ජාතියට විරුද්ධව ස්වාමීන්වහන්සේ කියා තිබෙන ලෙස නුඹ සහ නුඹේ සෙනඟත් කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නේ මක්නිසාද? 14නුඹලා බබිලෝනියේ රජුට සේවයකරන්නේ නැතැයි කියන ප්‍රොපේතවරුන්ගේ වචනවලට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද ඔව්හු බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති. 15එසේය, මම ඔවුන් නොඑවුවෙමි, එහෙත් මා විසින් නුඹලා පන්නාදමන හැටියටත් නුඹලා සහ නුඹලාට අනාගතවාක්‍ය කියන අනාගතවක්තෘවරුන් නැතිවෙන හැටියටත් ඔව්හු මාගේ නාමයෙන් බොරුවට අනාගතවාක්‍ය කියතියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීමි. 16ඇරත් මම පූජකයන්ටත් මේ මුළු සෙනඟටත් කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ දැන් ඉක්මනින්ම බබිලෝනියෙන් නැවත ගෙනෙනවා ඇත කියා නුඹලාට අනාගතවාක්‍ය කියන නුඹලාගේ ප්‍රොපේතවරුන්ගේ වචනවලට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද ඔව්හු බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති. 17ඔවුන්ට ඇහුම්කන් නොදෙන්න. බබිලෝනියේ රජුට සේවයකොට ජීවත්වෙන්න. මේ නුවර පාළුවක් වන්නේ කුමටද? 18ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය ඇත්තාවූ ප්‍රොපේතවරු නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් යූදාහි රජුගේ ගෘහයෙත් යෙරුසලමෙත් ඉතුරුව තිබෙන භාණ්ඩ බබිලෝනියට ගෙනනොයන ලෙස සේනාවල ස්වාමීන්වහන්සේට කන්නලව්කරත්වා. 19මක්නිසාද බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙකොනියාද යූදාහි සහ යෙරුසලමේ සියලු උත්තමයන්ද අල්ලා යෙරුසලමෙන් බබිලෝනියට ගෙනයද්දී, 20ඔහු හැර නොගත්තාවූ කුළුනු ගැනත් මුහුද ගැනත් මැහි ගැනත් මේ නුවර ඉතිරිව තිබෙන අනික් භාණ්ඩ ගැනත් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. 21සැබවින්ම ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් යූදාහි රජුගේ ගෘහයෙත් යෙරුසලමෙත් ඉතිරිව තිබෙන භාණ්ඩ ගැන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: 22ඒවා බබිලෝනියට ගෙනයනු ලබන්නේය, මා ඒවා විමසා බලන දවස දක්වා ඒවා එහි තිබෙන්නේය; එවිට මම ඒවා ගෙනැවිත් නැවත මේ ස්ථානයට පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy