යාකොබ් 5:7-20
යාකොබ් 5:7-20 SROV
එබැවින්, සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ ඊම දක්වා ඉවසන්න. බලව, ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසමින් ගොවියා පොළොවේ අනර්ඝ ඵල ගැන බලාසිටී. නුඹලත් ඉවසිල්ලෙන් සිටින්න; ස්වාමීන්වහන්සේගේ ඊම ළංව තිබෙන බැවින් නුඹලාගේ සිත් ස්ථිරකරගන්න. සහෝදරයෙනි, නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස එකිනෙකාට විරුද්ධව නොකොඳුරන්න. බලව, විනිශ්චයකාරයාණන්වහන්සේ දොරකඩ ඉදිරියෙහි සිටිනසේක. සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ නමින් කථාකළ ප්‍රොපේතවරුන් පීඩාවිඳීමෙත් ඉවසීමෙත් ආදර්ශයක්කොට ගන්න. ඉවසූ අය ආශීර්වාදලද්දෝයයි අප කියමුව. යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය. නුමුත්, මාගේ සහෝදරයෙනි, නුඹලා වරදට පත් නොවන පිණිස, ස්වර්ගය ගැනවත් පොළොව ගැනවත් වෙන කිසිවක් ගැනවත් නොදිවුරන්නැයි ප්‍රධානකොට කියමි. නුඹලාගේ එසේය කීම එසේය කියාද, නැත කීම නැත කියාද වේවා. නුඹලා අතරෙහි යමෙක් දුක්විඳින්නේද? ඔහු යාච්ඤාකරාවා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද? ඔහු ගී කියාවා. නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා. එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ. එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි. එලියා අප සමාන ගති ඇති මනුෂ්‍යයෙක්ව සිටිය නුමුත් වැසි නොවසින පිණිස ඔහු උනන්දුකමින් යාච්ඤාකළේය; එවිට තුන් අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේය. ඔහු නැවත යාච්ඤාකළේය; එවිට අහසින් වැසි වැස, පොළොවේ ඵල හටගත්තේය. මාගේ සහෝදරයෙනි, නුඹලා අතරෙන් යමෙක් සැබෑකමෙන් මුළාව ගියේද, යමෙක් ඔහු හරවාගන්නේ නම්, පව්කාරයෙකු තමාගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා ප්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වසන බව ඔහු දැනගනීවා.






