YouVersion Logo
Search Icon

යෙසායා 53

53
1අප විසින් දැන්වූ දේ විශ්වාස කළේ කවුද? ස්වාමීන්වහන්සේගේ හස්තය කාට එළිදරව්වීද? 2මක්නිසාද උන්වහන්සේ ළා පැලයක් මෙන්ද වියළි බිමින් මතුවෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියෙහි හටගත්සේක. උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත; අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශාවීමට ලක්ෂණකමක්ද නැත. 3උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපාකරනු ලැබූසේක; වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, උන්වහන්සේ සුළුකරනු ලැබූසේක, අපිද උන්වහන්සේ නොසැලකුවෙමුව.
4සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව. 5නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. 6අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.
7උන්වහන්සේට පීඩාකළ විට, උන්වහන්සේ යටත්වී තමන්ගේ මුඛය නෑර සිටිසේක; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නෑර සිටිසේක. 8උන්වහන්සේ බලහත්කාරකමෙන්ද විනිශ්චයෙන්ද පහකරනු ලැබූසේක. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන්වහන්සේ සිඳදමනු ලැබූ බව උන්වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනාකළේද? උන්වහන්සේ තළනු ලැබුවේ මාගේ සෙනඟගේ වරද නිසාය. 9ඔව්හු උන්වහන්සේගේ මිනීවළ දුෂ්ටයන් අතරෙහි තිබෙන්ට නියමකළෝය, නුමුත් උන්වහන්සේගේ මරණයේදී එය වස්ත්‍රකාරයන් සමඟ විය; මක්නිසාද උන්වහන්සේ අධර්මිෂ්ඨකමක් කළේවත් උන්වහන්සේගේ මුඛයෙහි කිසි ප්‍රයෝගයක් තිබුණේවත් නැත.
10එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය. 11උන්වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙනසේක. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරණකොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද උන්වහන්සේම දරාගන්නවා ඇත. 12එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදාදෙන්නෙමි, බලවන්තයන් සමඟද උන්වහන්සේ කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබ, උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදහත්කම්කරනසේක.

Currently Selected:

යෙසායා 53: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy