යෙසායා 26
26
නැවත පිහිටුවනු ලැබුවාවූ සෙනඟගේ ප්‍රශංසාව සහ සාක්ෂිය
1ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස උන්වහන්සේ ගැළවීම නියමකරනසේක. 2විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න. 3ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක. 4ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය. 5මක්නිසාද උන්වහන්සේ උසස්ථානය වන උස්වූ නගරයේ වැසියන් හෙළාදැමූසේක. උන්වහන්සේ එය පහත්කරනසේක, බිමටම ඒක පහත්කර ධූලියටම පමුණුවනසේක. 6පාදය ඒක පාගන්නේය; දිළිඳුන්ගේ පාදත් දුර්වලයන්ගේ අඩිත් ඒක පාගනවා ඇත. 7ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය. සෘජුගුණාන්විතවූ තැනන්වහන්ස, ඔබවහන්සේ ධර්මිෂ්ඨයාගේ මාවත හසුරුවනසේක. 8එසේය, ස්වාමීන්වහන්ස, ඔබගේ විනිශ්චයවල මාර්ගයෙහි අපි ඔබ ගැන බලාසිටියෙමු; අපේ ආත්මයේ ආශාව ඔබගේ නාමය හා ඔබගේ සංඥා නාමය කෙරෙහිය. 9මාගේ ආත්මයෙන් මම රාත්‍රියෙහි ඔබ කෙරෙහි ආශාවීමි; එසේය, මා තුළ මාගේ ආත්මයෙන් අලුයම ඔබ සොයන්නෙමි. මක්නිසාද ඔබගේ විනිශ්චයන් පොළොවේ ඇතිකල්හි ලෝ වැසියෝ ධර්මිෂ්ඨකම ඉගෙනගනිති. 10දුෂ්ටයාට කරුණාව ලැබෙන නුමුත් ඔහු ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත; යුක්තිය ඇති දේශයෙහිත් ඔහු අපරාධ ක්‍රියාකරනවා ඇත, ඔහු ස්වාමීන්වහන්සේගේ මහන්තත්ත්වයද නොදක්නේය.
11 ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය. 12ස්වාමීන්වහන්ස, ඔබ අප උදෙසා සමාදානය ප්‍රදානයකරනසේක. මක්නිසාද අපේ සියලු කාරණාම ඔබ අප උදෙසා කරදුන්සේක. 13අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඇර වෙන ස්වාමිවරු අප ආණ්ඩුකළෝය; නුමුත් අපි ඔබ සහ ඔබගේ නාමය පමණක් සඳහන්කරන්නෙමුව. 14මළාවූ ඔව්හු ජීවත්නොවන්නෝය; නැසීගියාවූ ඔව්හු නොනැගිටින්නෝය. එසේය, ඔබ ඔවුන් විමසා බලා ඔවුන් විනාශකොට, ඔවුන් ගැන මුළු සිහිවීම නැති කළසේක. 15ස්වාමීන්වහන්ස, ඔබ සෙනඟ වැඩිකළසේක, ඔබ සෙනඟ වැඩිකර ගෞරවය ලබාගත්සේක. ඔබ දේශයේ සියලු මායිම්ද විශාලකළසේක.
16 ස්වාමීන්වහන්ස, විපතේදී ඔව්හු ඔබ දෙස බැලුවෝය; ඔබගෙන් ඔවුන්ට දඬුවම පැමුණුණවිට ඔව්හු කන්නලව්වක් වැගිරෙවුවෝය. 17ගර්භණියක් බිහිකරන්ට ළංවෙන විට විළිරුජාවෙන් මිරිකී කෑගසන්නාක්මෙන්, ස්වාමීන්වහන්ස, ඔබ ඉදිරියෙහි අපි සිටි-යෙමුව. 18අපි ගර්භිණීව සිට වේදනා විඳිමින් හුළඟ බිහිකළාක්මෙන් බිහිකළෙමුව; දේශයෙහි කිසි මිදීමක් ඉෂ්ට නොකෙළෙමුව; ලෝවැසියෝද නොවැටුණෝය. 19ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.
20මාගේ සෙනඟ එන්න, නුඹලාගේ ඇතුල් ගෙවලට ගොස් නුඹලාගේ දොරවල් වසාගන, කෝපය පහවයන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉන්න. 21මක්නිසාද මෙන්න, ස්වාමීන්වහන්සේ, පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම්කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්මී එනසේක. පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවු ලේ ප්‍රකාශකරනවා ඇත.
Currently Selected:
යෙසායා 26: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society