YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 12

12
යේසුස්වහන්සේ ඇදහිල්ලේ ප්‍රධාන ආදර්ශය බව
1එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. 2උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක. 3ඒ නිසා නුඹලා, නුඹලාගේ සිත්වලින් ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුද්ධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනන්වහන්සේ කල්පනාකර බලන්න.
පීඩා විදීමෙන් ඇති ප්‍රීතිය සහ පුහුණුව
4නුඹලා පාපයට විරුද්ධව පොරට සිට, තවම ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිටියේ නැත. 5ඇරත් පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතකනැතිකළහුය, ඒ කවරද යත්:
මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න;
6මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක
යනුයි. 7නුඹලා ඉවසන්නේ දඬුවම් පිණිසය; දෙවියන්වහන්සේ පුත්‍රයන්ට මෙන් නුඹලා කෙරෙහි ක්‍රියාකරනසේක; මක්නිසාද පියා දඬුවම් නොකරන පුත්‍රයා කවුද? 8එහෙත් සියල්ලන් ලබන දඬුවමට නුඹලා පංගුකාරයෝ නොවන්නහු නම්, නුඹලා පුත්‍රයෝ නොව අවජාතකයෝය. 9තවද අපට දඬුවම්කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද? 10මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක. 11කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය. 12එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකරගන්න. 13කොර කකුල් අහක්කරනු නොලැබ, සුවවෙන පිණිස, නුඹලාගේ පාදවලට සමතලා පාරවල් සාදාගන්න.
උපදසේ හා අවවාද
14සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න. 15කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද, 16වේශ්‍යාකම්කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලුඳුල්කම වික්කාවූ ඒසව් මෙන් දේව අභක්තිකයෙක්වත් නොසිටින පිණිසද බලාගන්න. 17මක්නිසාද පසුව ඔහු ආශීර්වාදය උරුමකරගන්ට කැමතිවුණ නුමුත් ඔහු එපාකරනු ලැබූ බව නුඹලා දනිහුය; මක්නිසාද ඔහු කඳුළෙන් යුක්තව ඕනෑකමින් එය සෙවූ නුමුත්, වෙනස්කිරීමට ඉඩක් ලැබුණේ නැත.
පුරාණ ගිවිසුමේ භයංකරතාව සහ අලුත් ගිවිසුමේ තේජවත්කම
18තවද නුඹලා ළඟාවී සිටින්නේ ස්පර්ශකරන්ට පුළුවන්වූ ගින්නෙන් ඇවිළෙන්නාවූ කන්දකටත් කළුවරකමටත් අන්ධකාරයටත් කුණාටුවටත්, 19හොරණෑවක ශබ්දයටත් වචනවල හඬටත් නොවේය; ඒ හඬ ඇසූ අය තවත් තමුන්ට කථා නොකරන ලෙස ඉල්ලා සිටියෝය. 20මක්නිසාද: මෘගයෙක්වත් කන්දේ හැපුණොත් ඌ ගල්ගසා මැරිය යුතුය කියා කළාවූ අණ ඔවුන්ට දරන්ට බැරිවිය. 21ඒ දර්ශනය එපමණ භයානකව තිබුණු බැවින් මෝසෙස්ද කථාකොට: මම භයවෙමි, වෙවුලමියි කීය. 22නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්, 23ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුලුඳුලන්ගේ මහ රැස්වීමට හා සභාවටත්, සියල්ලන්ගේ විනිශ්චයකාරවූ දෙවියන්වහන්සේද සම්පූර්ණකරනලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද, 24අලුත් ගිවිසුමේ මැදහත්කාරවූ යේසුස්වහන්සේද ආබෙල්ට වඩා උතුම්ලෙස කථාකරන ඉසීමේ ලේද වෙතටත්ය. 25කථාකරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලාගන්න. මක්නිසාද පොළොවේදී අවවාදකළ තැනන්වහන්සේ එපාකළ විට ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අවවාදකරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද? 26උන්වහන්සේගේ ශබ්දයෙන් ඒ කාලයේදී පොළොව සෙලවුණාය. නුමුත් දැන් උන්වහන්සේ: මම පොළොව පමණක් නොව ස්වර්ගයත් තව වරක් කම්පාකරවන්නෙමියි කියා පොරොන්දුවී තිබේ. 27තව වරක්ය කී වචනයෙන් පෙන්වන්නේ නොසෙලවෙන්නාවූ දේවල් පවතින පිණිස සෙලවෙන ඒවා සෑදූ දේවල් මෙන් පහකරන බවය. 28එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි, ගෞරවයෙන්ද දේවභයින්ද දෙවියන්වහන්සේට ප්‍රසන්නවන ලෙස සේවයකරන පිණිස, අනුග්‍රහය ඇතුව සිටිමු. 29මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy