YouVersion Logo
Search Icon

උත්පත්ති 45

45
යෝසෙප් තම සහෝදරයන්ට ප්‍රකාශවීම. පියා කැඳවනුලැබීම
1එකල්හි යෝසෙප් තමන් සමඟ සිටි සියල්ලන් ඉදිරියෙහි ඉවසාගන්ට නොහැකිව: සියලු මිනිසුන් මා වෙතින් පිටතට අරින්නැයි මොරගසා කීය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට තමාම අඳුන්වාදෙන අතර ඔහු සමඟ කිසිවෙක් නොසිටියේය. 2ඔහු ශබ්ද නගා හැඬීය. එය මිසරවරුන්ට ඇසුණේය, ඵාරාවෝගේ ගෙයි වැසියන්ටත් ඇසුණේය. 3යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම යෝසෙප්ය; මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට උත්තරදෙන්ට නොහැකිවූවෝය; මක්නිසාද ඔහු ඔවුන් ඉදිරියෙහි වූ බැවින් ඔව්හු කැලඹී සිටියෝය. 4යෝසෙප්: අනේ මා ළඟට එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය. ඔව්හු ළංවුණෝය. එවිට ඔහු: මම නුඹලා මිසරයට වික්කාවූ නුඹලාගේ සහෝදරවූ යෝසෙප්ය. 5නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, නුඹලාටම කෝපනොවන්න. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂාකරන පිණිස නුඹලට පෙරටුව මා එවූසේක. 6කුමක්හෙයින්ද මේ දෑවුරුද්දේ දේශයෙහි සාගතය පැවතුණේය. සීසෑමක්වත් කැපීමක්වත් නැත්තාවූ තවත් පස් අවුරුද්දක් වන්නේය. 7දෙවියන්වහන්සේ නුඹලා පොළොවෙහි ඉතිරිකරන පිණිසද මහත්වූ ගැළවීමකින් නුඹලාගේ ජීවිත ආරක්ෂාකරන පිණිසද නුඹලාට පෙරටුව මා එවූසේක. 8එබැවින් මා මෙහි එවුවේ නුඹලා නොව දෙවියන්වහන්සේය. උන්වහන්සේ මා ඵාරාවෝට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක. 9නුඹලා ඉක්මන්කොට මාගේ පියා වෙතට ගොස්: ඔබගේ පුත්‍රවූ යෝසෙප් මෙසේ කියයි–දෙවියන්වහන්සේ මා මුළු මිසර දේශයට ස්වාමියා කළසේක. ප්‍රමාද නොව මා වෙතට අව මැනවි. 10ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය. 11ඔබද ඔබගේ ගෙයි වැසියන්ද ඔබ සන්තක සියල්ලන්ද දිළිඳු බවට නොපැමිණෙන පිණිස එහි ඔබ රක්ෂාකරන්නෙමි; මක්නිසාද සාගතය තව අවුරුදු පහක් පවතින්නේයයි කියන්න. 12මෙන්න, නුඹලාට කථාකරන්නේ මාගේ මුඛය බව නුඹලාගේ ඇස්වලටද මාගේ සහෝදරවූ බෙන්යමින්ගේ ඇස්වලටද පෙනෙයි. 13නුඹලා මිසරයෙහි මාගේ සියලු ඓශ්චර්ය ගැනද නුඹලා දුටු සියල්ල ගැනද මාගේ පියාට දන්වා ඉක්මන්කොට මාගේ පියා මෙහි කැඳවාගෙන එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය. 14තවද ඔහු තම සහෝදරවූ බෙන්යමින්ගේ බෙල්ල බදාගෙන හැඬීය; බෙන්යමින්ද ඔහුගේ බෙල්ල බදාගෙන හැඬීය. 15ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය.
16යෝසෙප්ගේ සහෝදරයෝ ආවෝය කියා ඵාරාවෝගේ ගෙයි වැසියන්ට ආරංචිවිය. ඵාරාවෝද ඔහුගේ සේවකයෝද ඊට බොහෝ ප්‍රසන්නවූවෝය. 17ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: නුඹලා මෙසේ කරන්නැයි නුඹේ සහෝදරයන්ට කියන්න–නුඹලාගේ මෘගයන් පිට බඩු පැටවිලිකරගෙන ගොස් කානාන් දේශයට පැමිණ, 18නුඹලාගේ පියාණන් සහ නුඹලාගේ පවුල්ද රැගෙන මා වෙතට එන්න. මම මිසර දේශයේ ඉතා හොඳ දේ නුඹලාට දෙන්නෙමි, නුඹලා දේශයේ සාරය භුක්තිවිඳින්නහුය. 19දැනුදු නුඹට අණ ලැබුණු බැවින් මෙසේ කරන්නැයි ඔවුන්ට කියන්න–නුඹලා නුඹලාගේ දරුවන්ටද භාර්යාවන්ටද මිසර දේශයෙන් ගැල් රැගෙන ගොස්, නුඹලාගේ පියා කැඳවාගෙන එන්න. 20නුඹලාගේ බඩු ගැන කරදරනොවන්න; මක්නිසාද මුළු මිසර දේශයේ ඉතා හොඳ දේ නුඹලාගේය කියන්නැයි කීයේය. 21ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ එලෙස කළෝය. ඵාරාවෝගේ අණ ලෙස යෝසෙප් ගැල්ද මගට කෑමද ඔවුන්ට දුන්නේය. 22ඔහු ඔවුන් එකිනෙකාට ඇඳුම් කුට්ටමක් බැගින් දුන්නේය; නුමුත් බෙන්යමින්ට රිදී තුන්සියයක් සහ ඇඳුම් කුට්ටම් පහක් දුන්නේය. 23ඔහු තමාගේ පියාට මෙයාකාරයෙන් යැවීය; එනම්, මිසරයේ හොඳ දේවල් පටවනලද කොටළුවන් දසදෙනෙකුත් තමාගේ පියාට මගට ධාන්‍යද රොටිද භෝජනද පටවනලද කොටළුදෙනුන් දසදෙනෙකුත් යැවුවේය. 24මෙසේ ඔහු තමන් සහෝදරයන් හැරියේය, ඔව්හු පිටත්ව ගියෝය. තවද: මගදී ඩබරනොකරන්ට බලාගන්නැයි ඔහු ඔවුන්ට කීවේය. 25ඔව්හු මිසරයෙන් නික්ම ගොස් කානාන් දේශයෙහි තමන්ගේ පියවූ යාකොබ් වෙතට පැමිණියෝය. 26තවද ඔව්හු: යෝසෙප් තවම ජීවත්ව සිටියි, ඔහු මුළු මිසර දේශයට ආණ්ඩුකාරයායයි ඔහුට කීවෝය. ඔහුගේ සිත ක්ලාන්තවිය, මක්නිසාද ඔහු ඔවුන් කී දේ විශ්වාස කළේ නැත. 27ඔව්හුද යෝසෙප් තමන්ට කී සියලු වචන ඔහුට කීවෝය. තමා ගෙනයන පිණිස යෝසෙප් එවූ ගැල් ඔවුන්ගේ පියවූ යාකොබ් දුටු කල ඔහුගේ සිත ප්‍රාණවත්විය. 28ඉතින් ඇත; මාගේ පුත්‍රවූ යෝසෙප් තවම ජීවත්ව සිටියි. නහින්ට පළමුවෙන් ගොස් මම ඔහු දක්නෙමියි ඉශ්‍රායෙල් කීවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy