YouVersion Logo
Search Icon

උත්පත්ති 43

43
බෙන්යමින් සමඟ සහෝදරයන් දෙවෙනි වර මිසරයට යාම
1දේශයෙහි සාගතය බලවත්ව පැවතුණේය. 2ඔවුන් මිසරයෙන් ගෙනාවාවූ ධාන්‍ය කාලා ඉවර වූ කල ඔවුන්ගේ පියා ඔවුන්ට කථාකොට: නැවත ගොස් අපට ආහාර ටිකක් මිලේට ගනිල්ලායයි කීවේය. 3යූදා ඔහුට කථාකොට: නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඒ මනුෂ්‍යතෙමේ අපට සත්තකකොට කීවේය. 4ඔබ අපගේ සහෝදරයා අප සමඟ යවන්නෙහි නම් අපි ගොස් ඔබට ආහාර මිලේට ගන්නෙමුව. 5එහෙත් ඔබ ඔහු නොයවන්නෙහිනම් අපි නොයමුව. මක්නිසාද ඒ මනුෂ්‍යතෙමේ–නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි අපට කීයේයයි කීය. 6ඉශ්‍රායෙල්ද: නුඹලාට තව සහෝදරයෙක් ඉන්න බව ඒ මනුෂ්‍යයාට කීමෙන් මට එපමණ දුකක් පැමිණෙවුවේ මක්නිසාදැයි කීවේය. 7ඔව්හුද: නුඹලාගේ පියා තවම ජීවත්ව සිටින්නේද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නේදැයි කියමින් ඒ මනුෂ්‍යයා අප ගැනත් අපේ නෑයන් ගැනත් විශේෂලෙස අපෙන් විචාළේය; ඒ වචන ප්‍රකාරයට අපි ඔහුට දැන්නුවෙමු. නුඹලාගේ සහෝදරයා මෙහි ගෙනෙන්නැයි ඔහු කියන බව අපට යම් හැටියකින් දැනගන්ට පුළුවන්වීදැයි කීවෝය. 8යූදා තමාගේ පියවූ ඉශ්‍රායෙල්ට කථාකොට: අප සහ ඔබත් අපේ දරුවනුත් නොනැසී ජීවත්වන ලෙස අප පිටත්වී යන පිණිස තරුණයා මා සමඟ යැවුව මැනවි. 9මම ඔහු වෙනුවට ඇපකාරයෙක් වන්නෙමි; ඔබ මා අතින් ඔහු ඉල්ලනු මැනවි. ඉදින් මම ඔබ වෙතට ඔහු ගෙනවුත් ඔබ ඉදිරියෙහි නොසිටෙවුවෙම් නම්, ඒ දෝෂය හැම කල්හි මා පිට වේවා. 10මක්නිසාද අපි ප්‍රමාද නූණෙමුනම් සැබවින්ම දෙවෙනි වරත් ගොස් මෙලහකට හැරී එන්ට තිබුණේයයි කීය. 11ඔවුන්ගේ පියවූ ඉශ්‍රායෙල්ද: එසේ විය යුතුම නම් මේක කරන්න; මේ දේශයේ අනර්ඝ දේ වන ගුගුල් ටිකක්ද මීපැණි ටිකක්ද සුගන්ධ ද්‍රව්‍යද සුවඳලාටුද පිස්ටැසියා ඇටද කොට්ටම්බාද නුඹලාගේ භාජනවල දමා ඒ මනුෂ්‍යයාට තෑග්ගක් පිණිස ගෙනයන්න. 12මුදල් දෙගුණයක් නුඹලාගේ අත්වල තබාගන්න; නුඹලාගේ ගෝණි කටවල තිබී ගෙනා මිල නැවත නුඹලාගේ අත්වල ගෙනයන්න; ඒක වැරදීමක් වෙන්ට ඇත. 13නුඹලාගේ සහෝදරයාද කැඳවාගෙන පිටත්වී ඒ මනුෂ්‍යයා වෙතට නැවත යන්න. 14ඒ මනුෂ්‍යයා නුඹලාගේ අනික් සහෝදරයාද බෙන්යමින්ද නුඹලාට නිදහස්කර දෙන පිණිස සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ඔහුගෙන් නුඹලාට කරුණාව ලැබෙන්ට සලස්වනසේක්වා. මාගේ දරුවන් මා කෙරෙන් තුරන් වුණොත් මම සැබවින්ම දරුවන් නැති කෙනෙක්මෙන් වෙමියි ඔවුන්ට කීවේය.
15ඒ මනුෂ්‍යයෝ ඒ තෑග්ග රැගෙන, මුදල් දෙගුණයක් අත්වල තබාගෙන, බෙන්යමින්ද කැඳවාගෙන, පිටත්ව මිසරයට ගොස් යෝසෙප් ඉදිරියෙහි සිටියෝය. 16යෝසෙප් ඔවුන් සමඟ බෙන්යමින් සිටිනවා දුටු කල්හි තමාගේ ගෙයි ගබඩාකාරයාට කථාකොට: මේ මනුෂ්‍යයන් ගෙට කැඳවාගන ගොස් සතුන් මරා පිළියෙළ කරන්න; මක්නිසාද මේ මනුෂ්‍යයෝ දවාලට මා සමඟ කන්නෝයයි කීවේය. 17ඒ මනුෂ්‍යයා යෝසෙප් අණකළ ලෙස කෙළේය; ඔහු ඒ මනුෂ්‍යයන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගියේය. 18එසේ යෝසෙප්ගේ ගෙට තමන් කැඳවාගෙන ගිය බැවින් ඒ මනුෂ්‍යයෝ භයවූහ; ඔව්හු කථාකොට: අප ඇතුළට ගෙනයන්නේ පළමු වර අපේ ගෝණිවල තිබී නැවත ලැබුණු මුදල් නිසා අප පිටට වරද පමුණුවා, අප අල්ලා, අප දාසයන් කරගෙන, අපේ කොටළුවන්ද ගන්නා පිණිසයයි කීවෝය. 19ඔව්හු යෝසෙප්ගේ ගෙයි ගබඩාකාරයාට ළංවී ගෙයි දොරකඩදී ඔහුට කථාකරමින්: 20අනේ ස්වාමීනි, පළමු වර අපි ආහාර මිලේට ගන්නා පිණිස ආවෙමු. 21තවද අපි නවාතැන්පළට අවුත් අපේ ගෝණි ඇරිය කල්හි අපේ මුදල් සම්පූර්ණ බරට එක්එක්කෙනාගේ ගෝණි කටේ තිබුණේය. අපේ අත්වල නැවත ඒවා ගෙනාවෙමු. 22ආහාර මිලේට ගන්නා පිණිස වෙන මුදල්ද අප අත්වල ගෙනාවෙමුව. අපේ මුදල් අපේ ගෝණිවල දැමුවේ කවුදැයි නොදනිමුයයි කීවෝය. 23ඔහුද: නුඹලාට සමාදානය වේවා, භයනොවන්න. නුඹලාගේද නුඹලාගේ පියාණන්ගේද දෙවියන්වහන්සේ නුඹලාගේ ගෝණිවල නුඹලාට වස්තුවක් දුන්සේක. නුඹලාගේ මුදල් මට ලැබුණේයයි කීවේය. තවද ඔහු සිමියොන් ඔවුන් වෙතට පිටතට ගෙනායේය. 24ඒ මනුෂ්‍යයා ඔවුන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගොස් ඔවුන්ට වතුර දුන්නේය, ඔව්හු පාද සෝදාගත්තෝය; ඔහු ඔවුන්ගේ කොටළුවන්ටත් ගොදුරු දුන්නේය. 25තමන් එහිදී කෑම කන්ට යන බව ඔව්හු අසා ඉරමුදුන් වේලාවේ යෝසෙප්ගේ ඊම වන තුරු තමන්ගේ තෑග්ග සූදානම්කර තැබුවෝය. 26යෝසෙප් ගෙදර ආ කල්හි ඔව්හු තමන්ගේ අත්වල තිබුණු තෑග්ග ඔහු වෙතට ගෙට ගෙනැවිත් බිමට නැමී ඔහුට වැන්දෝය. 27ඔහු ඔවුන්ගේ සැප සනීප අසා: නුඹලා කී මහලු මනුෂ්‍යයාවූ නුඹලාගේ පියාණෝ සනීපෙන්ද? ඔහු තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. 28ඔබගේ මෙහෙකරුවූ අපගේ පියා සනීපෙන්ය, තවම ජීවත්ව සිටීයයි ඔව්හු කීවෝය. තවද ඔව්හු හිස්නමා වැන්දෝය. 29ඔහු තමාගේ ඇස් ඔසවා තමාගේ මවුගේ පුත්‍රවූ තමාගේ සහෝදරවූ බෙන්යමින් දැක: නුඹලා කී නුඹලාගේ බාල සහෝදරයා මොහුදැයි අසා: මාගේ පුත්‍රය, දෙවියන්වහන්සේ නුඹට කරුණාකරනසේක්වයි කීවේය. 30යෝසෙප්ගේ සිත තමාගේ සහෝදරයා කෙරෙහි උණුවුණු බැවින් ඔහු ඉක්මන්වී හඬන්ට ස්ථානයක් සොයා ඇතුල් ගෙට ගොස් එහිදී හැඬීය. 31ඔහු මුහුණ සෝදා පිටතට අවුත් තමාව හික්මවාගෙන: කෑම අරින්නැයි කීය. 32ඔව්හු ඔහුට වෙනමද ඔවුන්ට වෙනමද ඔහු සමඟ කන මිසරවරුන්ට වෙනමද කෑම ඇරියෝය. කුමක්හෙයින්ද මිසරවරුන්ට හෙබ්‍රෙව්වරුන් සමඟ කන්ට නුපුළුවන; මක්නිසාද ඒක මිසරවරුන්ට පිළිකුලක්ය. 33ඔව්හු ඔහු ඉදිරියෙහි වැඩිමලා තමාගේ කුලුඳුල්කම ලෙසද බාලයා තමාගේ බාලකම ලෙසද හිඳගන උන්නෝය. ඊට ඒ මනුෂ්‍යයෝ පුදුමයෙන් ඔවුනොවුන් දෙස බැලුවෝය. 34ඔහු තමන් ඉදිරියෙන් කෑම කොටස් ඔවුන්ට යැවුවේය. ඔවුන් සියල්ලන්ගේ කොටස්වලට වඩා බෙන්යමින්ගේ කොටස පස් වරක් වැඩිව තිබුණේය. ඔව්හු බී ඔහු සමඟ ප්‍රීතිමත් වූහ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in