YouVersion Logo
Search Icon

උත්පත්ති 43:15-28

උත්පත්ති 43:15-28 SROV

ඒ මනුෂ්‍යයෝ ඒ තෑග්ග රැගෙන, මුදල් දෙගුණයක් අත්වල තබාගෙන, බෙන්යමින්ද කැඳවාගෙන, පිටත්ව මිසරයට ගොස් යෝසෙප් ඉදිරියෙහි සිටියෝය. යෝසෙප් ඔවුන් සමඟ බෙන්යමින් සිටිනවා දුටු කල්හි තමාගේ ගෙයි ගබඩාකාරයාට කථාකොට: මේ මනුෂ්‍යයන් ගෙට කැඳවාගන ගොස් සතුන් මරා පිළියෙළ කරන්න; මක්නිසාද මේ මනුෂ්‍යයෝ දවාලට මා සමඟ කන්නෝයයි කීවේය. ඒ මනුෂ්‍යයා යෝසෙප් අණකළ ලෙස කෙළේය; ඔහු ඒ මනුෂ්‍යයන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගියේය. එසේ යෝසෙප්ගේ ගෙට තමන් කැඳවාගෙන ගිය බැවින් ඒ මනුෂ්‍යයෝ භයවූහ; ඔව්හු කථාකොට: අප ඇතුළට ගෙනයන්නේ පළමු වර අපේ ගෝණිවල තිබී නැවත ලැබුණු මුදල් නිසා අප පිටට වරද පමුණුවා, අප අල්ලා, අප දාසයන් කරගෙන, අපේ කොටළුවන්ද ගන්නා පිණිසයයි කීවෝය. ඔව්හු යෝසෙප්ගේ ගෙයි ගබඩාකාරයාට ළංවී ගෙයි දොරකඩදී ඔහුට කථාකරමින්: අනේ ස්වාමීනි, පළමු වර අපි ආහාර මිලේට ගන්නා පිණිස ආවෙමු. තවද අපි නවාතැන්පළට අවුත් අපේ ගෝණි ඇරිය කල්හි අපේ මුදල් සම්පූර්ණ බරට එක්එක්කෙනාගේ ගෝණි කටේ තිබුණේය. අපේ අත්වල නැවත ඒවා ගෙනාවෙමු. ආහාර මිලේට ගන්නා පිණිස වෙන මුදල්ද අප අත්වල ගෙනාවෙමුව. අපේ මුදල් අපේ ගෝණිවල දැමුවේ කවුදැයි නොදනිමුයයි කීවෝය. ඔහුද: නුඹලාට සමාදානය වේවා, භයනොවන්න. නුඹලාගේද නුඹලාගේ පියාණන්ගේද දෙවියන්වහන්සේ නුඹලාගේ ගෝණිවල නුඹලාට වස්තුවක් දුන්සේක. නුඹලාගේ මුදල් මට ලැබුණේයයි කීවේය. තවද ඔහු සිමියොන් ඔවුන් වෙතට පිටතට ගෙනායේය. ඒ මනුෂ්‍යයා ඔවුන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගොස් ඔවුන්ට වතුර දුන්නේය, ඔව්හු පාද සෝදාගත්තෝය; ඔහු ඔවුන්ගේ කොටළුවන්ටත් ගොදුරු දුන්නේය. තමන් එහිදී කෑම කන්ට යන බව ඔව්හු අසා ඉරමුදුන් වේලාවේ යෝසෙප්ගේ ඊම වන තුරු තමන්ගේ තෑග්ග සූදානම්කර තැබුවෝය. යෝසෙප් ගෙදර ආ කල්හි ඔව්හු තමන්ගේ අත්වල තිබුණු තෑග්ග ඔහු වෙතට ගෙට ගෙනැවිත් බිමට නැමී ඔහුට වැන්දෝය. ඔහු ඔවුන්ගේ සැප සනීප අසා: නුඹලා කී මහලු මනුෂ්‍යයාවූ නුඹලාගේ පියාණෝ සනීපෙන්ද? ඔහු තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔබගේ මෙහෙකරුවූ අපගේ පියා සනීපෙන්ය, තවම ජීවත්ව සිටීයයි ඔව්හු කීවෝය. තවද ඔව්හු හිස්නමා වැන්දෝය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 43:15-28