YouVersion Logo
Search Icon

උත්පත්ති 27

27
ඒසව්ගේ ආශීර්වාදය යාකොබ් විසින් පැහැරගැනීම
1තවද ඊසාක් මහලුව ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුවූ කල්හි තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව් කැඳවා: මාගේ පුත්‍රයයි ඔහුට කීය. ඔහුද: මම මෙහියයි කීවේය. 2එවිට ඔහු කථාකොට: බලව, මම මහලුව සිටිමි, මාගේ මරණයේ දවස නොදනිමි. 3එබැවින් නුඹේ ආයුධ වන හීකොපුවත් දුන්නත් රැගෙන වනයට ගොස් මට මුව මස් ලබාගෙන, 4මට රුචිවූ රසවත් කෑම සාදන්න; මා එයින් කා, මැරෙන්ට ප්‍රථමයෙන් මාගේ ආත්මය නුඹට ආශීර්වාදකරන පිණිස ඒක මා ළඟට ගෙනෙන්නැයි කීය. 5ඊසාක් තමාගේ පුත්‍රවූ ඒසව්ට කථාකරන කල රෙබෙකාට ඇසුණේය. ඒසව් දඩයම්කොට මුව මස් ගෙනෙන පිණිස වනයට ගියේය. 6එවිට රෙබෙකා ඇගේ පුත්‍රවූ යාකොබ්ට කථාකරමින්: බලව, නුඹේ පියා–මා විසින් කාලා මාගේ මරණයට ප්‍රථමයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹට ආශීර්වාදකරන පිණිස මට මුව මස් ගෙනවුත් 7රසවත් කෑම සාදන්නැයි නුඹේ සහෝදරවූ ඒසව්ට කියනවා ඇසීමි. 8එබැවින් මාගේ පුත්‍රය, මා නුඹට අණකරන කාරණය ගැන මාගේ හඬට කීකරු වෙන්න. 9දැන් එළු රැළට ගොස් එතැනින් හොඳ එළුපැටියන් දෙදෙනකු මට ගෙනෙන්න; මම උන්ගෙන් නුඹේ පියාට ප්‍රියවූ රසවත් කෑම සාදන්නෙමි. 10නුඹේ පියා කාලා තමාගේ මරණයට ප්‍රථමයෙන් නුඹට ආශීර්වාදකරන පිණිස ඒවා ඔහු වෙතට රැගෙන යන්නැයි කීවාය. 11යාකොබ් තම මවුවූ රෙබෙකාට කථාකොට: බලව, මාගේ සහෝදරවූ ඒසව් ලෝමික කෙනෙක්ය, මම වනාහි සිලුටු කෙනෙක්ය. 12සමහරවිට මාගේ පියා මා අතගා බලයි, එවිට මා රැවටිලිකාරයෙක් මෙන් ඔහුට පෙනීයයි; එකල්හි ආශීර්වාදයක් නොව ශාපයක් මා පිටට වන්නේයයි කීය. 13ඔහුගේ මවු: මාගේ පුත්‍රය, නුඹේ ශාපය මා කෙරෙහි වේවා. නුඹ මා කියන දේ පමණක් අසා, ගොස් උන් මා වෙතට ගෙනෙන්නැයි ඔහුට කීවාය. 14ඔහු ගොස් උන් රැගෙන තමාගේ මවු ළඟට ආවේය. එවිට ඔහුගේ මවුතොමෝ ඔහුගේ පියාට ප්‍රියවූ රසවත් භෝජනය පිළියෙළකළාය. 15රෙබෙකා ඈ වෙත ගෙයි තිබුණු ඇගේ වැඩිමල් පුත්‍රවූ ඒසව්ගේ හොඳ වස්ත්‍ර රැගෙන ඇගේ බාල පුත්‍රවූ යාකොබ්ට අන්දවා, 16එළු පැටියන්ගේ සම් ඔහුගේ අත්වලද සිලුටු බෙල්ලෙහිද ඇන්දෙවුවාය. 17තවද ඈ පිළියෙළකළ රසවත් කෑමද රොටිද ඇගේ පුත්‍රවූ යාකොබ් අතට දුන්නාය. 18ඔහු තමාගේ පියා වෙතට අවුත්: මාගේ පියාණෙනියි කීය. ඔහු: මම මෙහිය; මාගේ පුත්‍රය, නුඹ කවුදැයි ඇසීය. 19යාකොබ්ද: මම ඔබගේ කුලුඳුල් පුත්‍රවූ ඒසව්ය; ඔබ මට අණකළ ලෙස කෙළෙමි. ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස නැගිට හිඳ මාගේ මුව මස් කැව මැනවියි තමාගේ පියාට කීවේය. 20ඊසාක්: මාගේ පුත්‍රය, මෙපමණ ඉක්මනට එය නුඹට සම්බවුණේ කොහොමදැයි තම පුත්‍රයාගෙන් ඇසීය. ඔහු: ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය ඉක්මනින් ඉෂ්ටවෙන්ට සැලැස්වූ හෙයිනැයි කීය. 21තවද ඊසාක්: මාගේ පුත්‍රය, නුඹ මාගේ පුත්‍රවූ ඒසව්මද නැද්ද කියා නුඹ අතගා බලන්ට මා ළඟට එන්නැයි යාකොබ්ට කීවේය. 22එවිට යාකොබ් තමාගේ පියවූ ඊසාක් ළඟට ගියේය; ඔහු අතගා බලා: හඬ යාකොබ්ගේ හඬය, නමුත් අත් ඒසව්ගේ අත්යයි කීය. 23ඔහුගේ අත් ඔහුගේ සහෝදරවූ ඒසව්ගේ අත් මෙන් ලෝමිකව තිබුණු බැවින් ඊසාක් ඔහු නොහැඳින ඔහුට ආශීර්වාදකෙළේය. 24නුඹ මාගේ පුත්‍රවූ ඒසව්මදැයි ඔහු ඇසීය. එසේයයි ඔහු කීවේය. 25ඊසාක්ද: ඒවා මා ළඟට ගෙනෙන්න, මාගේ ආත්මය නුඹට ආශීර්වාදකරන පිණිස මාගේ පුත්‍රයාගේ මුව මස් කන්නෙමියි කීවේය. එසේ ඔහු ඒවා ඔහු ළඟට ගෙනගියේය, ඊසාක් කෑයේය. මුද්‍රිකපානයත් ඔහු ළඟට ගෙනගියේය, ඔහු බීවේය. 26එවිට ඔහුගේ පියවූ ඊසාක්: ඉතින් මාගේ පුත්‍රය, ළඟට අවුත් මා සිඹගන්නැයි ඔහුට කීය. 27එවිට ඔහු ළඟට අවුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත්‍රවල සුවඳ සිඹ ඔහුට ආශීර්වාදකරමින්:
බලව, මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදකළ කෙතක සුවඳ මෙනි.
28එබැවින් දෙවියන්වහන්සේ අහසේ පිනිද පොළොවේ සාරත්වයද බොහෝ ධාන්‍ය හා මිදියුසද නුඹට දෙන සේක්වා.
29මනුෂ්‍ය වර්ගයෝ නුඹට සේවය කෙරෙත්වා, ජාතීහු නුඹ බැහැදකිත්වා.
නුඹේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න, නුඹේ මෑණියන්ගේ පුත්‍රයෝ නුඹ බැහැදකිත්වා.
නුඹට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි
කීය. 30ඊසාක් යාකොබ්ට ආශීර්වාදකොට නිමවූ කෙණෙහිම, යාකොබ් තමාගේ පියවූ ඊසාක් ඉදිරියෙන් පිටතට යන කොටම, ඔහුගේ සහෝදරවූ ඒසව් තමාගේ දඩයමින් හැරී ආයේය. 31ඔහුත් රසවත් ආහාර සාදා තමාගේ පියා වෙතට ගෙනැවිත්: ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස මාගේ පියාණන් නැගිට තමන් පුත්‍රයාගේ මුව මස් කැව මැනවයි තම පියාට කීය. 32එවිට ඔහුගේ පියවූ ඊසාක්: නුඹ කවරෙක්දැයි ඔහුට කීය. මම ඔබගේ කුලුඳුල් පුත්‍රවූ ඒසව්යයි ඔහු කීය. 33එවිට ඊසාක් අතිශයින් වෙවුලා කථාකොට: එසේ වීනම් දඩයම්කර මුව මස් මා ළඟට ගෙනාවේ කවුද? මම නුඹ එන්ට ප්‍රථමයෙන් සියල්ලෙන්ම කා ඔහුට ආශීර්වාදකෙළෙමි; එසේය, ඔහු ආශීර්වාද ලබන්නේයයි කීය. 34තම පියාගේ බස් ඇසූ කල ඒසව් ඉතා මහත්වූ දුක්ඛිතවූ මොරගැසීමකින් කෑගසා: මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවයි තම පියාට කීය. 35ඔහු: නුඹේ සහෝදරයා රැවටිල්ලෙන් අවුත් නුඹේ ආශීර්වාදය හැරගත්තේයයි කීය. 36එවිට ඒසව්: යාකොබ් යන නම ඔහුට තබා තිබෙනවා සුදුසු නොවේද? මක්නිසාද ඔහු මේ දෙවතාවක්ම මට ලැබෙන්ට තිබුණු දේ පැහැරගත්තේය. ඔහු මාගේ කුලුඳුල්කම ගත්තේය; මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් ගත්තේයයි කීය. එවිට ඔහු: ඔබ මටත් ආශීර්වාදයක් ඉතුරු නොකෙළෙහිදැයි ඇසීය. 37ඊසාක් උත්තරදෙමින්: බලව, මම ඔහු නුඹේ ස්වාමියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් මෙහෙකරුවන්කොට ඔහුට දුනිමි; ධාන්‍යයෙන් සහ මිදියුසින් ඔහු පෝෂණයකෙළෙමි. ඉතින් මාගේ පුත්‍රය, නුඹට කුමක් කෙරෙම්දැයි ඒසව්ට කීවේය. 38ඒසව්ද: මාගේ පියාණෙනි, ඔබට ඇත්තේ එක ආශීර්වාදයක් පමණක්ද? මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවැයි තමාගේ පියාට කියා ශබ්දනගා හැඬීය. 39එවිට ඔහුගේ පියවූ ඊසාක් උත්තරදෙමින්:
බලව, නුඹේ වාසස්ථානය පොළොවේ සාරත්වයෙන්ද ඉහළින් පැමිණෙන අහස් පින්නෙන්ද යුක්ත වන්නේය;
40නුඹේ කඩුව කරණකොටගෙන ජීවත්වන්නෙහිය, නුඹේ සහෝදරයාට මෙහෙකරන්නෙහිය;
තවද නුඹ නිදහසට පැමුණුණාම ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් ගසා දමන්නෙහියයි
ඔහුට කීවේය. 41ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය. 42තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව්ගේ වචන රෙබෙකාට දන්වනලද්දේය; ඈ තමාගේ බාල පුත්‍රවූ යාකොබ් කැඳවා: බලව, නුඹේ සහෝදරවූ ඒසව් නුඹ නසන්ට සිතාගන නුඹ ගැන තමාම සනසාගනියි. 43එහෙයින් මාගේ පුත්‍රය, නුඹ මාගේ හඬට ඇහුම්කන්දී පිටත්ව මාගේ සහෝදරවූ ලාබන් වෙතට හාරාන්ට පලායන්න; 44නුඹේ සහෝදරයාගේ කෝපය පහවෙන තුරු, නුඹේ සහෝදරයාගේ තරහ නුඹ කෙරෙන් පහවී නුඹ ඔහුට කළ දේ සිහිනැති වෙනකල්, ස්වල්ප දිනක් එහි සිටින්න. 45එවිට මම එතැනින් නුඹ ගෙන්වාගන්නෙමි. එක දවසේ නුඹලා දෙදෙනාම මට නැතිවෙන්නේ මක්නිසාදැයි කීවාය.
යාකොබ් ගෙදර හැර යාම
46රෙබෙකා ඊසාක්ට කථාකොට: හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට එපාවී තිබේ. යාකොබ් මේ දේශයේ දූවරුන් වූ හෙත්ගේ දූවරුන්ගෙන් මෙබඳු භාර්යාවක් පාවාගන්නේ නම් මාගේ ජීවිතය මට කුමට දැයි කීවාය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy