එස්රා 3
3
පූජාසන ආදිය පිහිටුවීම. දේවමාලිගාවේ අත්තිවාරම් තැබීම
1හත්වෙනි මාසය පැමිණ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ නුවරවල සිටින අතර සෙනඟ එක් කෙනෙකුමෙන් යෙරුසලමට රැස්වූවෝය. 2එකල යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද පූජකයෝවූ ඔහුගේ සහෝදරයෝද ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද ඔහුගේ සහෝදරයෝද නැගිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස දවන පූජා ඔප්පුකරන පිණිස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ පූජාසනය ගොඩනැගුවෝය. 3ඔව්හු පූජාසනය ඊට නියම ස්ථානයෙහි පිහිටෙවුවෝය; මක්නිසාද ඔව්හු ඒ රටවල සිටි ජනයන් ගැන භයපත්ව සිටියෝය. ඔව්හු ස්වාමීන්වහන්සේට දවන පූජා එනම් උදය සවස පූජා ඒ පූජාසනය පිට ඔප්පුකළෝය. 4ලියා තිබෙන ලෙස කූඩාරම් මංගල්‍යය පවත්වමින් එක එක දවසේ නියමයේ හැටියට ගණන වශයෙන් දවස්පතා දවන පූජා ඔප්පුකළෝය. 5ඉන්පසු ඔව්හු නිරන්තර දවන පූජාද අමාවක්වලත් ස්වාමීන්වහන්සේගේ සියලු නියම ශුද්ධ මංගල්‍යවලත් පූජාද ස්වාමීන්වහන්සේට කැමැත්තෙන්ම ඔප්පුකරන සියල්ලන්ගෙත් ස්වේච්ඡා පූජාද ඔප්පුකළෝය. 6ඔව්හු හත්වෙනි මාසයේ පළමුවෙනිදා පටන් ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පුකරන්ට පටන්ගත්තෝය. නුමුත් ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම ඒ වනතෙක් නොදමනලද්දේය. 7තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.
8මෙසේ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය වෙතට ඔවුන්ගේ පැමිණීමේ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේදී ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද ඔවුන්ගේ අනික් සහෝදරයෝවූ පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී යෙරුසලමට ආ සියල්ලෝද පටන්ගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට වයස් ඇති ලෙවීවරුන් නියමකළෝය. 9එවිට යේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝද සහෝදරයෝද කද්මීයෙල් සහ ඔහුගේ පුත්‍රයෝවූ යූදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ලෙවීවරු දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩකරන්නන් බලා ගැනීමට එක්කෙනෙකු මෙන් සිටියෝය. 10ගොඩනගන්නෝ ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දමන කල ඉශ්‍රායෙල්හි රජවූ දාවිත්ගේ පිළිවෙළේ හැටියට ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන පිණිස පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇතුවද ආසාප්ගේ පුත්‍රයෝ වන ලෙවීවරු අත්තල් ඇතුවද සිටගත්තෝය. 11ඔව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්: උන්වහන්සේ යහපත්ය, මක්නිසාද ඉශ්‍රායෙල් කෙරෙහි උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නෙය කියා ඔවුනොවුන් ගී කීවෝය. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දමන නිසා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ විට මුළු සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය. 12නුමුත් පළමු ගෘහය දුටු මහලුවූ බොහෝ පූජකයෝද ලෙවීවරුද පියවංශවල ප්‍රධානියෝද ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි මේ ගෘහයේ අත්තිවාරම දමන විට මහත් හඬකින් ඇඬුවෝය; බොහෝ දෙනෙක්ද ප්‍රීති-ඝෝෂා පැවැත්තුවෝය. 13මෙසේ ප්‍රීති-ඝෝෂාවේ ශබ්දය මේකය, සෙනඟගේ ඇඬීමේ ශබ්දය මේකයයි සෙනඟට වෙන් වෙන් වශයෙන් දැනගත නොහැකිවිය. මක්නිසාද සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය, ඒ ශබ්දය බොහෝ දුරට ඇසුණේය.
Currently Selected:
එස්රා 3: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society