YouVersion Logo
Search Icon

එසකියෙල් 45

45
දේශය පූජකාදීන්ට බෙදාදීම. අධිපතියාට භාර යුතුකම්
1තවද නුඹලා දේශය උරුම කරගැනීමට පසඇට දමන කල, උපහාරයක් කොට දේශයෙන් ශුද්ධ කොටසක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. ඒකේ දිග දඬු විසිපන් දහසක්ද පළල දඬු දසදහසක්ද වන්නේය. වටකර ඒකේ සියලු සීමා තුළ ඒක ශුද්ධය. 2එයින් පන්සියයක් දිගද පන්සියයක් පළලද ඇති වටකරින් සතරැස්වූ පංගුවක් ශුද්ධස්ථානයට වේවා; ඊට පිට-බිමක් පිණිස රියන් පනසකුත් වටේට තිබේවා. 3ඒ මිම්මෙන් විසිපන් දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අති ශුද්ධස්ථානය වන්නේය. 4ඒක දේශයෙන් ශුද්ධ කොටසක්ය; ඒක ස්වාමීන්වහන්සේට සේවයකරන්ට පැමිණෙන්නාවූ ශුද්ධස්ථානයේ සේවකයන්වූ පූජකයන්ට වන්නේය; ඒක ඔවුන්ගේ ගෙවල්වලට ඉඩමක්ද ශුද්ධස්ථානයට ශුද්ධවූ තැනක්ද වන්නේය. 5විසිපන්දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් ගෘහයේ සේවකයන්වූ ලෙවීවරුන්ට උරුමයක් පිණිස කාමර විස්සක් ඇතුළුව වේවා. 6නුවර කොටස පිණිස පන්දහසක් පළලද විසිපන්දහසක් දිගද ඇති ඉඩමක් උපහාරයවූ ශුද්ධ කොටස ළඟ නියමකරන්න. ඒක මුළු ඉශ්‍රායෙල් වංශයට වන්නේය. 7පඬුරවූ ශුද්ධ කොටසටත් නුවර කොටසටත් දෙපැත්තෙහි, එනම් උපහාරයවූ ශුද්ධ කොටසටත් නුවර කොටසටත් යාව දිගටම බස්නාහිර පැත්තෙහි සහ නැගෙනහිර පැත්තෙහි, අධිපතියාට කොටස්වේවා. ඒවායේ දිග බස්නාහිර සීමාවේ සිට නැගෙනහිර සීමාවට (ගෝත්‍ර) කොටස්වලින් එකක හරියේ තිබේවා. 8දේශයෙහි ඒවා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ඔහුට කොටසක් වන්නේය. එසේ මාගේ අධිපතීන් මාගේ සෙනඟට තවත් පීඩා නොකර, දේශය ඉශ්‍රායෙල් වංශයට ඔවුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට දෙනවා ඇත.
9ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ඉශ්‍රායෙල් අධිපතිවරුනි, ඉතින් නුඹලාට ඇත. බලාත්කාරය සහ කොල්ලකෑමද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකමද කර, මාගේ සෙනඟට බලාත්කාරකිරීමෙන් වැලකෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 10හරි තරාදිද හරි ඒඵාවක්ද හරි බාත් මිම්මක්ද නුඹලාට තිබේවා. 11බාතට හෝමෙරෙන් දසයෙන් කොටසක්ද ඒඵාවට හෝමෙරෙන් දසයෙන් කොටසක්ද අල්ලන පිණිස ඒඵාව හා බාත එක ප්‍රමාණය වන්නේය. ඒවායේ ප්‍රමාණය හෝමෙරට හරිව තිබේවා. ෂෙකෙලට ගේරා විස්සක්ය. 12නුඹලාගේ මානෙය ෂෙකෙල් විස්සක්ව, ෂෙකෙල් විසිපහක්ව, ෂෙකෙල් පහළොහක්ව, තිබෙන්නේය. 13නුඹලා ඔප්පු කළ යුතුවූ එසවීම් පූජාව නම් තිරිඟු හෝමෙරකින් ඒඵාවෙන් හයෙන් කොටසක්ය, යව හෝමෙරකිනුත් ඒඵාවෙන් හයෙන් කොටසක් දිය යුතුය. 14තෙල් සම්බන්ධ නියමය නම්: බාත් දසයක් අඩංගුවූ හෝමෙර වන කෝරකින් බාතෙන් දසයෙන් පංගුවක් දිය යුතුය; හෝමෙරට බාත් දසයක් වේ. 15ඉශ්‍රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත් දවන පූජාවටත් ශාන්ති පූජාවලටත් ඔවුන්ගේ සාරවත් බිම්වල එළු බැටළු රැළවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්ට යෙදේවයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 16දේශයේ මුළු සෙනඟ ඒ එසවීමේ පූජාව ඉශ්‍රායෙල් අධිපතියාට දිය යුතුය. 17අධිපතියාගේ යුතුකම නම් ඉශ්‍රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත් අමාවක්වලදීත් සබත් දවස්වලදීත් දවන පූජාද ආහාර පූජාද පාන පූජාද සපයාදීමය. ඉශ්‍රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්ට පාප පූජාවද ආහාර පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔහු විසින් පිළියෙළකළ යුතුය.
මංගල්‍යවලදී සහ වෙනත් නියම කළ කාලවලදී පැවැත්විය යුතු පූජා
18ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: පළමුවෙනි මාසයේ පළමුවෙනිදා කැලලක් නැති තරුණ ගොනෙක් රැගෙන ශුද්ධස්ථානයේ දෝෂ පහකරන්න. 19පූජකයාද පාප පූජාවේ ලේ වලින් ස්වල්පයක් රැගෙන ගෘහයේ උළුවස්සේ කණුවලත් පූජාසනයේ පිළේ කොන් සතරෙත් ඇතුල් මළුවේ දොරටුවේ උළුවස්සේ කණුවලත් ගාන්නේය. 20මාසයේ සත්වෙනි දවසේදීත් එසේම කොට, මුළාවෙන අය නිසාත් අනුවණ තැනැත්තා නිසාත් ගෘහය උදෙසා සමඟිකමක් කරන්න. 21පළමුවෙනි මාසයේදී දහහතරවෙනිදා පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින්, මුහුන් නැති රොටි කන්න. 22ඒ දවසේදී අධිපතියා තමා උදෙසාත් දේශයේ මුළු සෙනඟ උදෙසාත් තරුණ ගොනෙක් පාප පූජාවක් කොට පිළියෙළකරන්නේය. 23ඔහු මංගල්‍යයේ දවස් සතේ ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට සත් දවසෙන් එක එක දවසට කැලලක් නැති ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් පාප පූජාවක් කොට දවසට එළුවෙකුත් පිළියෙළකරන්නේය. 24ඔහු ආහාර පූජාවක් කොට ගොනෙකුට පිටි ඒඵාවක්ද බැටළුවෙකුට ඒඵාවක්ද ඒඵාවකට තෙල් හිනක්ද බැගින් පිළියෙළකරන්නේය. 25සත්වෙනි මාසයේ පහළොස්වෙනිදා මංගල්‍යයේදී ඔහු එසේම සත් දවසක් ඒ පාප පූජාවද දවන පූජාවද ආහාර පූජාවද තෙල්ද සඳහා පිළියෙළකරන්නේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy