YouVersion Logo
Search Icon

එසකියෙල් 37

37
ඉශ්‍රායෙල් නැවත ප්‍රාණවත්කර එක රජෙකු යටතේ එක්සත්කිරීම
1 ස්වාමීන්වහන්සේගේ අත මා පිටට පැමිණ, ස්වාමීන්වහන්සේගේ ආත්මයෙන් මා පිටතට පමුණුවා, සමභූමිය මැද සිටෙවුවේය; ඒක ඇටවලින් පිරී තිබුණේය; 2උන්වහන්සේ ඒවා අතරේ වටකර එහා මෙහා යන්ට මට සැලැස්සූසේක. එවිට සමභූමිය මතුපිට ඒවා බහුලව තිබෙනවා දුටිමි; ඒවා හොඳටම වියළී තිබුණේය. 3එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට ජීවත්වේදැයි මාගෙන් ඇසූසේක. මමද: ස්වාමිවූ දෙවියන්වහන්ස, එය දන්නේ ඔබයයි උත්තරදුනිමි. 4උන්වහන්සේ නැවත මට කථාකොට: නුඹ මේ ඇට කෙරෙහි අනාගතවාක්‍ය කියමින් ඒවාට මෙසේ කියන්න–වියළි ඇට, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. 5මේ ඇටවලට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, නුඹලා ජීවත්වන ලෙස මම නුඹලා තුළට ආත්මය පමුණුවන්නෙමි. 6මම නුඹලා පිට නහර තබා, නුඹලා කෙරෙහි මාංස හටගන්වා, නුඹලා සමින් වසා, නුඹලා ජීවත්වන ලෙස නුඹලා තුළ ආත්මය තබන්නෙමි; නුඹලා මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත කියා කියන්නැයි කීය. 7එවිට මට අණකළ ලෙස මම අනාගතවාක්‍ය කීමි. මා අනාගතවාක්‍ය කියද්දී ශබ්දයක්ද භූමිකම්පාවක්ද විය, එක එක ඇටය ස්වකීය ඇටවලට ළංවිය. 8මම බැලූවිට නහර ඒවා පිට තිබෙනවා දුටිමි, මාංසය හටගැනී, ඒ උඩ සමින් වැසුණේය. නුමුත් ඒවා තුළ ආත්මයක් නොවීය. 9එවිට උන්වහන්සේ මට කථාකොට: නුඹ සුළඟට අනාගතවාක්‍ය කියන්න, මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියමින් සුළඟට කථාකොට–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ආත්මය, නුඹ සතර දිග සුළංවලින් ඇවිත් මැරුම්කෑවාවූ මොවුන් ජීවත්වන ලෙස මොවුන් තුළට හුස්ම හෙළන්න කියා කියන්නැයි මට කීය. 10මමද උන්වහන්සේ මට අණකළ ලෙස අනාගතවාක‍්‍යය කීමි, ආත්මයද මොවුන් තුළට පැමිණ, ඔව්හු ජීවත්වී නැගිට, ඉතා මහත් සේනාවක්ව සිටගත්තෝය. 11එවිට උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට නම් මුළු ඉශ්‍රායෙල් වංශයය. අපේ ඇට වියළී අපේ බලාපොරොත්තුව නැතිවී තිබේ; අපි සහමුලින්ම සිඳදමනු ලැබීමුයයි ඔව්හු කියති. 12එබැවින් නුඹ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න–මාගේ සෙනඟෙනි, මම නුඹලාගේ සොහොන් විවරකොට, නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැගුටුවා, නුඹලා ඉශ්‍රායෙල් රටට පමුණුවන්නෙමි. 13එම්බා මාගේ සෙනඟෙනි, මා විසින් නුඹලාගේ සොහොන් විවරකොට නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැගිටෙවුවාම, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත. 14නුඹලා ජීවත්වන ලෙස මා විසින් නුඹලා තුළ මාගේ ආත්මය තබා, නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි. මෙසේ ස්වාමීන්වහන්සේ වන මා ඒක කියා ඉෂ්ටකළ බව නුඹලා දැනගන්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි මට කීය.
15නැවත ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය, 16නුඹ එක ලීයක් රැගෙන–යූදාටත් ඔහුගේ සමාගම්කාරයන් වන ඉශ්‍රායෙල් පුත්‍රන්ටත්ය කියා ඒක පිට ලියා, තව ලීයක් රැගෙන–යෝසෙප්ට අයිති එප්‍රායිම්ගේද ඔහුගේ සමාගම්කාරයන් වන මුළු ඉශ්‍රායෙල් වංශයේද ලීයය කියා ඒක පිට ලියා, 17ඒවා නුඹේ අතේ එකක් වෙන පිණිස එක ලීයක් කොට එකිනෙකට ළංකරගන්න. 18නුඹේ සෙනඟගේ පුත්‍රයන් නුඹට කථාකොට: මේවායින් නුඹ හඟවන්නේ කිමෙක්ද කියා නුඹ අපට නොදන්වන්නෙහිදැයි නුඹෙන් ඇසුවාම, 19නුඹ ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, එප්‍රායිම්ගේ අතේ තිබෙන යෝසෙප්ගේ ලීයද ඔහුගේ සමාගම්කාරයන් වන ඉශ්‍රායෙල් ගෝත්‍රද මා විසින් රැගෙන, ඒවා ඒකට, එනම් යූදාගේ ලීයට තබා, ඒවා මාගේ අතේ එකක් වෙන ලෙස ඒවා එක ලීයක් කරන්නෙමියි කියන්න. 20නුඹ විසින් ලිවීමක් කරන ලී ඔවුන් ඉදිරියෙහි නුඹේ අතේ තිබෙද්දී: 21ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. ඉශ්‍රායෙල් පුත්‍රයන් ගොස් සිටින තැන්වල ජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන, වටකරින් ඔවුන් රැස්කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවා, 22දේශයෙහි ඉශ්‍රායෙල් කඳු පිට ඔවුන් එක ජාතියක් කරන්නෙමි; එක රජෙක්ද ඔවුන් සියල්ලන්ටම රජ වන්නේය. ඔව්හු තවත් ජාති දෙකක් නොවන්නෝය, තවත් රාජ්‍ය දෙකකට නොබෙදෙන්නෝය. 23ඔව්හු තමුන්ගේ දේවරූපවලින්වත් තමුන්ගේ අශික්ෂිතකම්වලින්වත් තමුන්ගේ සියලුම වරදවලින්වත් තමුන් කිලුටුකර නොගන්නෝය. ඔවුන් පව්කළාවූ තමුන්ගේ සියලුම වාසස්ථානවලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදුකරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. 24මාගේ සේවකයාවූ දාවිත් ඔවුන් කෙරෙහි රජවන්නේය; ඔවුන් සියල්ලන්ටම එක එඬේරෙක් වන්නේය. ඔව්හු මාගේ විනිශ්චයන් ලෙස හැසිර, මාගේ පනත් පවත්වා, ඒවා කරන්නෝය. 25මාගේ සේවකයාවූ යාකොබ්ට මා දුන්නාවූ, නුඹලාගේ පියවරුන් වාසයකළාවූ දේශයෙහි ඔවුන් වාසයකරනවා ඇත; එසේ ඔවුන් සහ ඔවුන්ගේ දරුවෝද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද සදාකාලේටම එහි වාසයකරන්නෝය. මාගේ සේවකයාවූ දාවිත්ද සදාකාලේටම ඔවුන්ට අධිපතියා වන්නේය. 26තවද මම සමාදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක්වන්නේය. මම ඔවුන් පිහිටුවා, ඔවුන් වැඩිකොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලේටම පිහිටුවන්නෙමි. 27මාගේ මණ්ඩපයද ඔවුන් වෙත වන්නේය; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝය. 28මාගේ ශුද්ධස්ථානය හැම කල්හිම ඔවුන් අතරෙහි තිබීමෙන් මා ඉශ්‍රායෙල් විශුද්ධ කරන ස්වාමීන්වහන්සේ බව ජාතීන් දැනගන්නවා ඇත කියා කියන්නැයි කීය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in