YouVersion Logo
Search Icon

එසකියෙල් 34

34
ඉශ්‍රායෙල්ගේ යහපත් එඬේරාණෝ
1තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 2මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ එඬේරුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න. අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට, එනම් එඬේරුන්ට කියන්න. තමුන්ම පෝෂ්‍යකරගන්න ඉශ්‍රායෙල් එඬේරුන්ට දුක්වේ! එඬේරුන් විසින් බැටළුවන් පෝෂ්‍ය කළ යුතු නොවේද? 3නුඹලා තෙල කති, ලෝම ඇඳගනිති, තර එවුන් මරති; එහෙත් නුඹලා බැටළුවන් පෝෂ්‍ය කරන්නේ නැත. 4දුර්වල එවුන් නුඹලා විසින් ශක්තිමත් කළේවත්, ලෙඩවූ එකාට සුවකළේවත්, පොඩිවූ එකාගේ තුවාල බැන්දේවත්, පන්නාදමනු ලැබූ එකා නැවත ගෙනාවේවත්, නැතිවුණ එකා සෙවුවේවත් නැත; බලාත්කාරකමින්ද සැරකමින්ද නුඹලා උන් ආණ්ඩුකළහුය. 5එඬේරෙක් නැතුව උන් විසිර ගොස් වනයේ සියලු සත්වයන්ට ගොදුරු වූවෝය, උන් විසිරගියෝය. 6මාගේ බැටළුවෝ සියලු කඳුවලද උස්වූ සියලු හෙල් පිටද මුළාවගියෝය. එසේය, මුළු පොළෝතලයෙහි මාගේ බැටළුවෝ විසිරගියෝය; උන් සොයන්ට හෝ බලන්ට හෝ කිසිවෙක් නොවීය. 7එබැවින් එඬේරුනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. 8ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවමාන බව සැබෑවා සේම, එඬේරෙක් නැතුව මාගේ බැටළුවන් ගොදුරු වෙන්ටත් බැද්දේ සියලු මෘගයන්ට මාගේ බැටළුවන් කෑම වෙන්ටත් යෙදුණු නිසාද මාගේ එඬේරුන් මාගේ බැටළුවන් ගැන විභාගකරන්නේවත් මාගේ බැටළුවන් පෝෂ්‍යකරන්නේවත් නැතුව තමුන්ම පෝෂ්‍යකරගත් නිසාද, 9එඬේරුනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; 10ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම එඬේරුන්ට විරුද්ධව සිට, මාගේ බැටළුවන් ඔවුන් අතින් අයකර, බැටළුවන් පෝෂ්‍යකිරීමෙන් ඔවුන් නවත්වන්නෙමි; තවත් තමුන්ම පෝෂ්‍යකරගන්ට එඬේරුන්ට නොලැබෙන්නේය; මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවාගන්නෙමි. 11මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මමම මාගේ බැටළුවන් ගැන විභාගකර, උන් බලාගන්නෙමි. 12එඬේරෙක් වනාහි විසිරගිය තමාගේ බැටළුවන් අතරේ සිටින දවසකදී තමාගේ රැළ සොයා යන්නාක්මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස්, වලාකුල් සහ අන්ධකාරය ඇති දවසේදී උන් විසිරගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි. 13මම ජනයන් අතරෙන් උන් පිටතට පමුණුවා, දේශවලින් උන් රැස්කර, උන්ගේම රටට උන් ගෙනවුත්, ඉශ්‍රායෙල් කඳුවලද දෙණිවලද දේශයේ සියලු වාසස්ථානවලද උන් පෝෂ්‍යකරන්නෙමි. 14හොඳ තෘණවලින් උන් පෝෂ්‍යකරන්නෙමි, ඉශ්‍රායෙල් කඳුවල උස් තැන්හි උන්ගේ තෘණබිම් වන්නේය. එහි හොඳ තෘණබිම්වල උන් ලගිනවා ඇත, ඉශ්‍රායෙල් කඳුවල උන් සාරවත් තෘණ කනවා ඇත. 15මමම මාගේ බැටළුවන් පෝෂ්‍යකර, මමම උන් ලග්ගවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 16මම නැතිවූ එකා සොයන්නෙමි, පන්නාදමනු ලැබූ එකා දෙවනු ගෙනෙන්නෙමි, පොඩිවූ එකාගේ තුවාල බඳින්නෙමි, ලෙඩවූ එකා ශක්තිමත්කරන්නෙමි. නුමුත් මම තරවූ එවුන්ද ශක්තිමත් එවුන්ද නැතිකර, විනිශ්චයෙන් උන් පෝෂ්‍යකරන්නෙමි. 17මාගේ බැටළුවෙනි, නුඹලාට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම සිව්පාවුන් සහ සිව්පාවුන්ද එනම් බැටළුවන් සහ එළුවන්ද අතරේ විනිශ්චය කරමි. 18නුඹලා හොඳ තෘණ කා, නුඹලාගේ තෘණවලින් ඉතුරු ඒවා නුඹලාගේ පාදවලින් පාගාදමන එකත් පැහැදුණු වතුර බී ඉතුරු ඒවා නුඹලාගේ පාදවලින් කිලුටුකරන එකත් නුඹලාට සුළු දෙයක්ව පෙනේද? 19මාගේ බැටළුවෝ නුඹලාගේ පාදවලින් පෑගුවාවූ ඒවා කති, නුඹලාගේ පාදවලින් කිලුටුකළ ඒවා බොති.
අලුත් එඬේරා සහ අලුත් ගිවිසුම්
20එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට මෙසේ කියනසේක: බලව, මමම තර සිව්පාවුන් සහ කෙට්ටු සිව්පාවුන් අතරේ විනිශ්චයකරන්නෙමි. 21දුර්වලවූ සියල්ලන් පිටතට පන්නාදමන තුරු නුඹලා ඇලපතෙන්ද උරෙන්ද තල්ලු කර, නුඹලාගේ අංවලින් උන්ට අනින බැවින්, 22මාගේ බැටළුවන් තවත් ගොදුරු නොවන ලෙස මම උන් ගළවා, සිව්පාවුන් සහ සිව්පාවුන් අතරේ විනිශ්චය කරන්නෙමි; 23ඔවුන් පෝෂ්‍යකිරීමට එකම එඬේරෙක් වන මාගේ සේවකයාවූ දාවිත් නැගුටුවා ඔවුන් කෙරෙහි පත්කරන්නෙමි; හෙතෙම ඔවුන් පෝෂ්‍යකොට ඔවුන්ගේ එඬේරා වන්නේය. 24ස්වාමීන්වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, මාගේ සේවකයාවූ දාවිත්ද ඔවුන් අතරේ අධිපතියා වන්නේය; ස්වාමීන්වහන්සේ වන මම ඒක කීමි. 25මම ඔවුන් සමඟ සමාදාන ගිවිසුමක් කරන්නෙමි; ඔවුන්ට සුවසේ කාන්තාරයෙහි වසන්ටත් කැලෑවල නිදාගන්ටත් පුළුවන්වන ලෙස මම චණ්ඩ මෘගයන් දේශයෙන් පහකරන්නෙමි. 26මම ඔවුන් සහ මාගේ කන්ද වටකර ඉඩම් ආශීර්වාදයක් කරන්නෙමි; වැස්ස නියම කාලයට වස්වන්නෙමි; ආශීර්වාද වර්ෂා පැමිණෙනවා ඇත. 27කෙතේ ගස්වල ඵල හටගන්නේය. දේශය ඒකේ අස්වැන්න දෙන්නේය, ඔව්හු උපද්‍රව රහිතව තමුන්ගේ රටෙහි සිටින්නෝය; ඔව්හු මා විසින් ඔවුන්ගේ වියගස් කඩා, ඔවුන් වහල්කරගත් අයගේ අත්වලින් ඔවුන් ගළවාගත්තාම, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත. 28ජාතීන්ට තවත් ඔව්හු කොල්ලයක් නොවන්නෝය, පොළොවේ මෘගයෝ උන් නොකන්නෝය; කිසිවෙක් ඔවුන් භයගන්වන්නේ නැතුව, ඔව්හු සුවසේ වාසයකරන්නෝය. 29කීර්තිය පිණිස මම ඔවුන්ට ගස් පංක්තියක් උපදවන්නෙමි, ඔව්හු තවත් දේශයෙහි සාගතයෙන් විනාශ නොවන්නෝය, ජාතීන්ගේ නින්දාකිරීම තවත් නොදරන්නෝය. 30මෙසේ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මා ඔවුන් සමඟ සිටින බවද ඉශ්‍රායෙල් වංශයවූ ඔවුන් මාගේ සෙනඟ බවද ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 31මාගේ බැටළුවෝ වන මාගේ ගොදුරු බිමේ බැටළුවෝවූ නුඹලා වනාහි මනුෂ්‍යයෝය, මම නුඹලාගේ දෙවියන්වහන්සේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy