YouVersion Logo
Search Icon

එසකියෙල් 24

24
අපවිත්‍රකමින් පිරුණු හැළියේ උපමාව
1නවවෙනි අවුරුද්දේ දසවෙනි මාසයේ දසවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 2මනුෂ්‍ය පුත්‍රය, දවසේ, එනම් මේ අද දවසේම නම ලියාගන්න. බබිලෝනියේ රජ මේ අද දවසේදීම යෙරුසලමට ළංවී සිටියේය. 3කැරළිකාර වංශයට උපමාවක් කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න–හැළිය ලිපේ තබන්න; ඒක තබා වතුරත් එහි වත්කරන්න. 4ඊට අයිති කෑලි වන සියලු හොඳ කෑලි පස්සා ගාතයද ඉස්සරහ ගාතයද ඇතුව එහි එකතුකර, ඉතා හොඳ ඇට ඇති ඒවායෙන් පුරවන්න. 5එළු බැටළු රැළෙන් හොඳ එවුන් ගන්න, ඒක යට ඇට ගොඩක් තබන්න. ඒක හොඳට උතුරවා, එහි තුළ තිබෙන ඇටත් තම්බන්න.
6එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ලේ වගුරුවන නුවරට දුක්වේ! ඒක මලකඩ ඇති හැළියක්ය, ඒකේ මලකඩ ඒකෙන් ඇරිලා නැත; ඒකේ සෑම කෑලි පිටින්ම එය ඇර දමන්න. ඊට කිසි පසඇටයක් වැටුණේ නැත. 7මක්නිසාද ඇගේ ලේ ඈ ඇතුළෙහි ඇත්තේය; ඈ ඒවා පස්වලින් වැසීයන්ට පොළොව පිට වගුරුවන්නේ නැතුව පස් නැති පර්වතය උඩ තැබුවාය. 8ඇගේ ලේ වැසී නොයන හැටියට, පළිගන්න පිණිස කෝපය ඇවිස්සවීමට, මම ඒවා පස් නැති පර්වතය උඩ තැබීමි. 9එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ලේ වගුරුවන නුවරට දුක්වේ! මමත් දර සෑය මහත්කරන්නෙමි. 10බොහෝ දර දමා, ගින්දර අවුළවා, මස් තම්බාදමා, කලවමක් කර, ඇටත් පුළුස්සා දමන්න. 11එවිට ඒකේ පිත්තල රත්වී ගිනියම්වී, ඒකේ අපවිත්‍රකම ඒක ඇතුළෙහි උණුවී, ඒකේ මලකඩ නැතිවී යන පිණිස, ඒක ගිනිඅඟුරු පිට හිස්ව තබන්න. 12ඈ වීර්යකිරීමෙන් වෙහෙසුණු නුමුත්, ඇගේ බොහෝ මලකඩ ඇගෙන් පහව නොයයි; ඇගේ මලකඩ ගින්නෙන් පවා පහව නොයයි. 13නුඹේ අපවිත්‍රකම දූෂිතය. මක්නිසාද මා විසින් නුඹ පිරිසිදුකරමින් සිටි නුමුත් නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදුවුණේ නැත; මාගේ කෝපය නුඹ කෙරෙහි සංසිඳුවාගන්න තුරු නුඹ තවත් පිරිසිදුකරනු නොලබන්නෙහිය. 14ස්වාමීන්වහන්සේ වන මම ඒක කීයෙමි. ඒක සිදුවන්නේය, මම ඒක කරන්නෙමි; මා පසුබටවෙන්නේවත් දයාවෙන්නේවත් තැවෙන්නේවත් නැත; නුඹේ මාර්ගවලද ක්‍රියාවලද හැටියට ඔව්හු නුඹ විනිශ්චයකරන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
එසකියෙල්ගේ ශෝකය සහ ලකුණක් වශයෙන් ඔහු නිශ්ශබ්දවීම
15 ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 16මනුෂ්‍ය පුත්‍රය, මෙන්න, නුඹේ ඇස්වලට ප්‍රියවූ දේ එක පහරකින් නුඹෙන් ගනිමි. එහෙත් නුඹ විලාප නොකිය යුතුය, නොහැඬිය යුතුය, නුඹේ කඳුළුත් නොවැගිරියයුතුය. 17නිශ්ශබ්දව සුසුම්ලා, මළවුන් ගැන වැලපීමක් නොකර, නුඹේ තොප්පිය හිසේ බැඳගෙන; නුඹේ වහන් පාදවල දමාගන්න, තොල් වසා නොගෙන, මිනිසුන්ගේ රොටිද නොකා සිටින්නැයි කීය. 18එබැවින් මම උදයේ සෙනඟට කථාකෙළෙමි; සවස මාගේ භාර්යාව මළාය. මට අණකළ ලෙස උදයේදී කෙළෙමි. 19සෙනඟද: නුඹ කරන මේ දේ අපට අදාළවෙන හැටි නුඹ අපට නොකියන්නෙහිදැයි මාගෙන් ඇසුවෝය. 20එවිට මම ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීයේය–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඉශ්‍රායෙල් වංශයට කියන්න. 21බලව, මම නුඹලාගේ බලයේ පාරට්ටුව වූ, නුඹලාගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, නුඹලාගේ ආත්ම ආශාවෙන්නාවූ මාගේ ශුද්ධස්ථානය කෙලහන්නෙමි; නුඹලා විසින් අත්හැර ආවාවූ නුඹලාගේ පුත්‍රයෝද නුඹලාගේ දූවරුද කඩුවෙන් වැටෙන්නෝය. 22මා කළාක්මෙන් නුඹලාත් කරනවා ඇත. නුඹලා තොල් වසා නොගෙන, මිනිසුන්ගේ රොටිද නොකා සිටිනවා ඇත. 23නුඹලාගේ තොප්පි නුඹලාගේ හිස්වලද නුඹලාගේ වහන් නුඹලාගේ පාදවලද වන්නේය. නුඹලා විලාප කියන්නේවත් අඬන්නේවත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂයවී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනවා ඇත. 24මෙසේ එසකියෙල් නුඹලාට සලකුණක් වන්නේය; ඔහු කළ සියල්ල ලෙස නුඹලා කරනවා ඇත. මේක පැමිණි කළ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.
25ඉතින් මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ගේ බලයද ඔවුන්ගේ තේජසේ ප්‍රීතියද ඔවුන්ගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, ඔවුන්ගේ ආත්ම ආශාවෙන්නාවූ දේද ඔවුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මා විසින් ඔවුන්ගෙන් පැහැරගන්න දවසේදී, 26මිදෙන තැනැත්තා ඒ බව නුඹේ කන්වලට දන්වන පිණිස නුඹ ළඟට එනවා නොවේද? 27ඒ දවසේදී නුඹේ මුඛය මිදෙන තැනැත්තා කෙරෙහි ඇරී, නුඹ තවත් ගොළුව නොසිට කථාකරන්නෙහිය. මෙසේ නුඹ ඔවුන්ට සලකුණක් වන්නෙහිය; ඔවුන් මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy