YouVersion Logo
Search Icon

එසකියෙල් 22

22
යෙරුසලමේ අපරාධ සහ දඬුවම් නැවත ගෙනහැරදැක්වීම
1තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ 2මනුෂ්‍ය පුත්‍රය, නුඹ විනිශ්චය කරන්නෙහිද? ලේ වගුරුවන නුවර විනිශ්චයකරන්නෙහිද? එසේවී නම් ඇගේ සෑම පිළිකුල්කම් ඈට දන්වමින් මෙසේ කියන්න: 3ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒ වනාහි එහි කාලය පැමිණෙන පිණිස එහි මැද ලේ වගුරුවන්නාවූද එය අපවිත්‍රවන පිණිස තමාටම විරුද්ධව දේවරූප සාදාගන්නාවූද නුවරක්ය! 4නුඹ වැගිරෙවු නුඹේ ලේවලින් නුඹ වරදකාරයෙක්වී, නුඹ සෑදූ නුඹේ රූපවලින් නුඹ අපවිත්‍රවී, මෙසේ නුඹේ දවස් ළංවෙන්ට සලස්වා, නුඹේ අවුරුදුවලට නුඹ පැමින්ණෙහිය. එබැවින් මම නුඹ ජාතීන්ට නින්දාවක්ද සියලුම දේශවලට කවටකමක්ද කෙළෙමි. 5නුඹට ළංව සිටින්නෝද දුරව සිටින්නෝද අපකීර්තියත් බොහෝ කැලඹීමත් ඇතුව සිටින කෙනෙක් කොට නුඹට කවටකම්කරන්නෝය. 6ඉශ්‍රායෙල් අධිපතීන් නුඹ තුළ සිටියේ එක එකා තම තමාගේ බලය ලෙස ලේ වගුරුවන පිණිසය. 7නුඹ තුළ ඔව්හු පියාත් මවුත් සුළුකළෝය; නුඹ ඇතුළෙහි විදේශියාට බලාත්කාරයෙන් ක්‍රියාකළෝය. නුඹ තුළ පියා නැත්තාට සහ වැන්දඹුවටත් පීඩාකළෝය. 8නුඹ මාගේ ශුද්ධ දේ හෙළාදැක, මාගේ සබත් කෙලහුවෙහිය. 9ලේ වගුරුවන පිණිස කේලාම්කියන මනුෂ්‍යයෝ නුඹ තුළ සිටියෝය. නුඹ තුළ කඳු පිට කෑවෝය. නුඹ ඇතුළෙහි සල්ලාලකම්කළෝය. 10නුඹ තුළ පියාගේ නග්නකම ප්‍රකාශකළෝය. නුඹ තුළ ඔසප්ව සිටි තැනැත්තීට අගෞරවකළෝය. 11එකෙක් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ පිළිකුල්කම්කෙළේය; අනිකෙක් තමාගේ ලේලී සල්ලාලකමින් අපවිත්‍රකෙළේය; නුඹ තුළ තවත් කෙනෙක් තම පියාගේ දුවවූ තමාගේ සහෝදරියට අවනම්බු කෙළේය. 12ලේ වගුරුවන පිණිස ඔව්හු නුඹ තුළ අල්ලස් ගත්තෝය; නුඹ පොළී සහ ලාභ ගෙන, නුඹේ අසල්වාසීන්ගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන, මා සිහිනැතිකෙළෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 13එබැවින් බලව, නුඹ ලබාගත් අයුතු ලාභ ගැනත් නුඹ ඇතුළෙහිවූ නුඹේ ලේ වැගිරීම් ගැනත් මාගේ අත් එකට ගසාගතිමි. 14මා විසින් නුඹ සමඟ ක්‍රියාකරන දවස්වලදී නුඹේ සිත ස්ථිරව නොහොත් නුඹේ අත් බලවත්ව තිබේද? ස්වාමීන්වහන්සේ වන මම ඒ දේ කීමි, එලෙසම කරන්නෙමි. 15මම නුඹ ජාතීන් අතරට පන්වා, නුඹ දේශවල විසුරුවා, නුඹේ අපවිත්‍රකම නුඹෙන් නැතිකරදමන්නෙමි. 16නුඹද ජාතීන් ඉදිරියෙහි නුඹ කරණකොටගෙනම කෙලහෙන්නෙහිය; මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නෙහියයි කීය.
17තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය, 18ඉශ්‍රායෙල් වංශය මට බොර මෙන් වී සිටිති. ඔවුන් සියල්ලෝ උඳුන මැද තිබෙන පිත්තලව බෙලෙක්ව යකඩව ඊයම්ව සිටිති; ඔව්හු රිදී-බොරය. 19එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–බලව, නුඹලා සියල්ලන්ම බොර වී සිටින නිසා නුඹලා යෙරුසලම තුළට එකතුකරන්නෙමි. 20රිදීද පිත්තලද යකඩද ඊයම්ද බෙලෙක්ද ගිනි පිඹ උණුකරන පිණිස උඳුන තුළට එකතුකරන්නාක්මෙන් මම නුඹලා මාගේ උදහසින්ද කෝපයෙන්ද එකතුකර තබා උණුකරන්නෙමි. 21මම නුඹලා රැස්කර, මාගේ උදහස් ගින්න නුඹලාට පිඹින්නෙමි, නුඹලා එහි තුළ උණුවන්නහුය. 22උඳුන තුළ රිදී උණුවන්නාක්මෙන් නුඹලා එහි තුළ උණුවන්නහුය; ස්වාමීන්වහන්සේ වන මා විසින් මාගේ කෝපය නුඹලා කෙරෙහි වැගිරෙවු බව නුඹලා දැනගන්නවා ඇතැයි කීය.
23 ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 24මනුෂ්‍ය පුත්‍රය, ඈට මෙසේ කියන්න–නුඹ වනාහි පවිත්‍ර නූණාවූ, උදහස් දවසේදී වැසි නොලබන්නාවූ දේශයක්ය. 25ඇගේ ප්‍රොපේතවරුන්ගේ ද්‍රෝහිකමක් ඈ තුළ ඇත්තේය. ඔව්හු ගොදුර ඉරන්නාවූ ගොරවන සිංහයෙකු මෙන් ප්‍රාණ කාදැමුවෝය. ඔව්හු වස්තු සහ අනර්ඝ දේ ගනිති; ඔව්හු එහි තුළ වැන්දඹුවන් වැඩිකළෝය. 26ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩකොට මාගේ ශුද්ධවූ දේ කෙලහුවෝය. ඔවුන් ශුද්ධ එකද අශුද්ධ එකද අතරේ වෙනසක් කළේවත් අපවිත්‍ර එකද පවිත්‍ර එකද අතරේ තිබෙන වෙනස දැන්නුවේවත් නැත, මාගේ සබත්ද ඔව්හු නොසලකා ඇරියෝය, මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමුණුණේය. 27එහි තුළ සිටින ඇගේ අධිපතීහු අයුතු ලාභ ලබාගන්නා පිණිස ලේ වැගිරවීමටත් ප්‍රාණ නැතිකිරීමටත් සිටින ගොදුර ඉරන්නාවූ වෘකයන්ට සමානය. 28ඇගේ ප්‍රොපේතවරුද ප්‍රයෝග දර්ශන දැක, ඔවුන්ට බොරු පේන කියා, ස්වාමීන්වහන්සේ කථා නොකළ නුමුත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියා පදම් නොකළ බදාම ගෑවෝය. 29දේශයේ සෙනඟ බලාත්කාරකම්කොට කොල්ලකෑවෝය; අසරණයාටද දිළින්දාටද පීඩාකොට, අයුතුලෙස විදේශියාට බලාත්කාර කළෝය. 30මා විසින් දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනගා දේශය උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට ඔවුන් අතරේ මනුෂ්‍යයෙකු සෙවීමි. නුමුත් කිසිවෙක් මට සම්බනූණේය. 31එබැවින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ උදහස් ගින්නෙන් ඔවුන් නාස්තිකරදමා ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පැමිණවීමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy