YouVersion Logo
Search Icon

නික්මයාම 18

18
යෙත්‍රෝගේ පැමිණීම
1මිදියන්හි පූජකවූ මෝසෙස්ගේ මාමා වන යෙත්‍රෝ වනාහි දෙවියන්වහන්සේ මෝසෙස් උදෙසාත් ස්වකීය සෙනඟවූ ඉශ්‍රායෙල් උදෙසාත් කරනලද සියල්ල එනම් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරයෙන් පිටතට ගෙනා වග ඇසුවේය. 2එවිට මෝසෙස්ගේ මාමාවූ යෙත්‍රෝ මෝසෙස් ඇරලා සිටියාවූ ඔහුගේ භාර්යාවූ ශිප්-පොරාද ඇගේ පුත්‍රයන් දෙදෙනාද රැගෙන පිටත්වුණේය; 3ඔවුන්ගෙන් එක් කෙනෙකුගේ නම ගේර්ෂොම්ය; මක්නිසාද: මම අන් රටක ආගන්තුකයෙක්ව සිටියෙමියි මෝසෙස් කීවේය. 4අනික් පුත්‍රයාගේ නම එලියේසර්ය; මක්නිසාද: මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මට පිහිටවී ඵාරාවෝගේ කඩුවෙන් මා ගළවාගත්සේකැයි ඔහු කීවේය. 5මෝසෙස්ගේ මාමාවූ යෙත්‍රෝ මෝසෙස්ගේ පුත්‍රයන් සහ භාර්යාව සමඟ දෙවියන්වහන්සේගේ කන්ද ළඟ වනාන්තරයෙහි කඳවුර බැඳ සිටි මෝසෙස් වෙතට අවුත්: 6නුඹේ මාමාවූ යෙත්‍රෝ නම් මමද නුඹේ භාර්යාවද ඈ සමඟ ඇගේ පුත්‍රයෝ දෙදෙනාද නුඹ වෙතට ඇවිත් සිටිමුයයි මෝසෙස්ට කියා ඇරියේය. 7මෝසෙස් තමාගේ මාමාගේ පෙරමගට ගොස් වැඳ ඔහු සිඹගත්තේය; ඔව්හු එකිනෙකාගේ සුවදුක් විචාරා කූඩාරමට ඇතුල්වූවෝය. 8මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා ඵාරාවෝටද මිසරවරුන්ටද කළ සියල්ල සහ මාර්ගයෙහිදී ඔවුන්ට පැමිණි සියලු අමාරුකම්ද ස්වාමීන්වහන්සේ ඔවුන් ගැළෙවු ප්‍රකාරයද ඔහුගේ මාමාට කීවේය. 9ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරවරුන් අතින් ගළවාගෙන ඔවුන්ට කළාවූ සියලු යහපත්කම් ගැන යෙත්‍රෝ ප්‍රීතිවිය. 10ඔහු කියනුයේ: මිසරවරුන් අතින්ද ඵාරාවෝ අතින්ද නුඹලා මුදා මිසරවරුන් යටතින් සෙනඟ ගළවා ගත්තාවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. 11ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් බව දැන් දනිමි. එසේය, ඔවුන් උඩඟු ලෙස මොවුන්ට විරුද්ධව හැසුරුණු කාරණයේදී උන්වහන්සේ එසේම වූසේකැයි කීයේය. 12මෝසෙස්ගේ මාමාවූ යෙත්‍රෝ දෙවියන්වහන්සේට දවන පූජාවක්ද යාගද ගෙනායේය. ආරොන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝද මෝසෙස්ගේ මාමා සමඟ දෙවියන්වහන්සේ ඉදිරියෙහි කෑම කන පිණිස ආවෝය. 13තවද පසුවදා මෝසෙස් සෙනඟ විනිශ්චය කරන පිණිස හිඳගත්තේය. සෙනඟද උදය පටන් සවස දක්වා ඔහු අවට සිටියාහ. 14මෝසෙස් සෙනඟ සම්බන්ධව කරන සියල්ල ඔහුගේ මාමා දැක: නුඹ සෙනඟ ගැන කරන මේ දෙය කිමෙක්ද? නුඹ පමණක් වාඩිවී ඉන්නෙත් මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා නුඹ අවට නැගිට සිටින්නෙත් මක්නිසාදැයි කීය. 15මෝසෙස්ද: සෙනඟ දෙවියන්වහන්සේගෙන් විභාගකරන පිණිස මා වෙතට එන නිසාය. 16ඔවුන්ට කාරණයක් ඇති කළ ඔව්හු මා වෙතට එති; මමද මනුෂ්‍යයෙකු සහ ඔහුගේ අසල්වාසියා අතරේ විනිශ්චයකොට දෙවියන්වහන්සේගේ නියෝගයද ව්‍යවස්ථාද ඔවුන්ට දන්වමියි තමාගේ මාමාට කීවේය. 17මෝසෙස්ගේ මාමා ඔහුට කථාකොට: නුඹ කරන දේ හොඳ නැත. 18නුඹද නුඹ සමඟ සිටින මේ සෙනඟද ඒකාන්තයෙන් වෑරීයන්නහුය. මක්නිසාද මේ කාරණය නුඹට බර වැඩිය; නුඹට පමණක්ම එය ඉෂ්ටකිරීම නොහැකිය. 19ඉතින් මාගේ හඬට ඇහුම්කන් දෙන්න, මම නුඹට දැනමුතුකම්දෙමි, දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක්වා. නුඹ සෙනඟ උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ සිට උන්වහන්සේ ඉදිරියට කාරණා පමුණුවන්න. 20නුඹ ඔවුන්ට නියෝග සහ ව්‍යවස්ථා උගන්වා ඔවුන් විසින් හැසිරිය යුතු මාර්ගයත් කළ යුතු වැඩත් ඔවුන්ට පෙන්වාදෙන්න. 21ඇරත් නුඹ මුළු සෙනඟ අතරෙන් දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදීවූ අයුතු ලාභයට ද්වේෂකරන්නාවූ සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද කොට සෙනඟ කෙරෙහි පත්කරන්න. 22ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චය කෙරෙත්වා. ඔව්හු සියලු මහත් කාරණා නුඹ වෙතට පමුණුවා සියලු සුළු කාරණා තුමූම විනිශ්චය කෙරෙත්වා. මෙසේ නුඹට හුඟක් පහසු වන්නේය, ඔව්හු නුඹ සමඟ බර උසුලන්නෝය. 23නුඹ මෙසේ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේත් එසේ නුඹට අණකරනසේක්නම්, නුඹට දැරියහැකි වන්නේය, මේ මුළු සෙනඟද තමුන්ගේ ස්ථානයට සමාදානයෙන් යන්නෝයයි කීවේය. 24මෝසෙස් තම මාමාගේ බසට කන්දී ඔහු කී සියල්ල කෙළේය. 25මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගෙන් සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද වශයෙන් සෙනඟ කෙරෙහි ප්‍රධානීන් කොට ඔවුන් පත්කෙළේය. 26ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චයකළෝය. අමාරු කාරණා මෝසෙස් වෙතට ගෙනාවෝය, එහෙත් සියලු සුළු කාරණා ඔව්හුම විනිශ්චයකළෝය. 27මෝසෙස් තමාගේ මාමා යන්ට හැරියේය; ඔහු සිය රටට ගියේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy