YouVersion Logo
Search Icon

ද්වීතීය කථාව 3

3
1එකල අපි හැරී බාෂාන්ට යන මාර්ගයෙන් නැගී ගියෙමුව. බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද සටන්කරන්ට අපට විරුද්ධව එද්රෙයිට ආවෝය. 2ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔහුට භයනොවන්න. මක්නිසාද මම ඔහු සහ ඔහුගේ මුළු සෙනඟද ඔහුගේ දේශයද නුඹ අතට පාවා දුනිමි; හෙෂ්බොන්හි වාසයකළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට කළාක්මෙන් ඔහුටත් කරන්නැයි කීසේක. 3එසේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද අප අතට පාවාදුන්සේක. අපිද ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවන තුරු පහරදුනිමු. 4එකල අපි ඔහුගේ සියලු නුවරවල් අල්ලාගතිමු; ඔවුන්ගෙන් අල්ලා නොගත් එක නුවරක්වත් නොවීය; එනම් නුවරවල් හැටක් ඇත්තාවූ බාෂාන්හි වූ ඕග්ගේ රාජ්‍යය වන මුළු අර්ගොබ් පළාත අල්ලාගතිමු. 5මේ සියලු නුවරවල් උස්වූ පවුරුවලින්ද ද්වාරවලින්ද අගුල්වලින්ද සුරක්ෂිතකර තිබුණේය; ඒවා ඇර පවුරු නැති නුවරවල් මහත් ගණනක්ද අල්ලාගතිමු. 6අප විසින් හෙෂ්බොන්හි රජවූ සීහොන්ට කළාක්මෙන් ඔව්නුත් සහමුලින් විනාශකෙළෙමු, සියලුම නුවරවල පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද සම්පූර්ණයෙන් විනාශකෙළෙමු. 7එහෙත් සියලු සිව්පාවුන්ද නුවරවල සම්පත්ද අපට කොල්ලයක් කොට ගතිමු. 8එකල අපි යොර්දානෙන් මෙගොඩ අර්ණොන් ඔයේ පටන් හෙර්මොන් කන්ද දක්වා තිබෙන දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා අතින් ගතිමු. 9(සීදොන්වරු හෙර්මොන්ට සිරියොන්යයි කියත්, අමෝරිවරු ඊට සෙනීර්යයි කියත්;) 10තලාවේ සියලු නුවරවල්ද මුළු ගිලියද්ද බාෂාන්හි ඕග්ගේ රාජ්‍යයේ නුවරවල් වූ සලෙකා සහ එද්රෙයි දක්වා මුළු බාෂාන් රටද අල්ලා ගතිමු. 11(ඉතුරුවූ රෙඵායිම් යෝධයන්ගෙන් ඒ වන තුරු ඉතුරුව සිටියේ බාෂාන්හි රජවූ ඕග් පමණක්ය; ඔහුගේ ඇඳ යකඩ ඇඳකි; එය අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි තිබෙනවා නොවේද? මනුෂ්‍යයෙකුගේ රියන ලෙස එහි දිග නව රියනක්ය, එහි පළල සතර රියනක්ය.) 12අපි එකල්හි ඒ දේශය හිමිකරගතිමු. අර්ණොන් ඔය අසබඩ තිබෙන අරෝයෙර් පටන් ගිලියද් කඳුකරයෙන් දෙකෙන් කොටසක් හා එහි නුවරවල්ද රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් දුනිමි. 13ගිලියද්හි ඉතුරු කොටසද ඕග්ගේ රාජ්‍යයවූ මුළු බාෂාන් රටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයට දුනිමි. (ඒක රෙඵායිම් යෝධයන්ගේ දේශයයයි කියන මුළු බාෂාන් වන මුළු අර්ගොබ් පළාතය. 14මනස්සේගේ පුත්‍රවූ යායිර් තෙම ගෙෂූර්වරුන්ගේද මාකාත්වරුන්ගේද සීමාව දක්වා මුළු අර්ගොබ් පළාත අල්ලාගන ඒවාට එනම් බාෂාන්ට අද දක්වා තිබෙන්නාක්මෙන් තමාගේ නාමය ප්‍රකාර හව්වොත්-යායිර්යයි නම තැබුවේය.) 15ගිලියද් මාකීර්ට දුනිමි. 16තවද ගිලියද් පටන් අර්ණොන් ඔය ඇතුළත දක්වාම තිබෙන පළාතත් අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා තිබෙන පළාතත්, 17කින්නෙරෙත් පටන් පිස්ගායේ පාවුළට පහළින් තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වා නැගෙනහිරට පිහිටි අරබා සමභූමියත් යොර්දානත් ඒ පළාතත් රූබෙන්වරුන්ට සහ ගාද්වරුන්ට දුනිමි.
18මම එකල්හි නුඹලාට අණකොට: මේ දේශය හිමිකරගන්නා පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය නුඹලාට දී තිබේ. සන්නාහ සන්නද්ධව නුඹලාගෙන් බලවන්තයන් ව සිටින සියල්ලන් නුඹලාගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙරටුව යන්ට ඕනෑය. 19එහෙත් නුඹලාගේ භාර්යාවෝද බාලයෝද සිව්පාවෝද මා නුඹලාට දී තිබෙන නුවරවල සිටිත්වා; (නුඹලාට බොහෝ සිව්පාවන් ඉන්න බව දනිමි.) 20ස්වාමීන්වහන්සේ නුඹලා මෙන් නුඹලාගේ සහෝදරයන්ද එහි පදිංචිකරවන තුරුද යොර්දානෙන් එගොඩ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට දෙන දේශය ඔවුන් හිමිකරගන්නා තුරුද නුඹලා ගොස් පසුව එකිනෙකා මා නුඹලාට දී තිබෙන දේශයට හැරී එන්න කියා නුඹලාට කීමි. 21එකල මම යෝෂුවාට අණ දෙමින්: නුඹලාගේ ස්වාමීන්වහන්සේ මේ රජුන් දෙදෙනාට කළ සියල්ල නුඹේ ඇසින් දුටුවෙහිය. නුඹ පැමිණෙන සියලු රාජ්‍යවලට ස්වාමීන්වහන්සේ එසේම කරනසේක. 22ඔවුන්ට භය නොවන්න. මක්නිසාද නුඹලා උදෙසා සටන්කරන්නේ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීමි.
23මම එකල්හි ස්වාමීන්වහන්සේට කන්නලව් කොට: 24අහෝ, ස්වාමීවූ දෙවියන්වහන්ස, ඔබගේ උතුම්කමද බලවත් හස්තයද ඔබගේ මෙහෙකරුවාට පෙන්වන්ට ඔබ පටන්ගත්සේක. මක්නිසාද ඔබගේ ක්‍රියාවලද ඔබගේ බලපරාක්‍රමයේද හැටියට කරන්ට පුළුවන් වෙන මොන දෙවිකෙනෙක් ස්වර්ගයෙහිවත් පොළොවෙහිවත් ඇත්තේද? 25එගොඩට ගොස් යොර්දානෙන් එතර තිබෙන ඒ යහපත් දේශයද ඒ ශෝභන කඳු රටද ලෙබනොන්ද දකින පිණිස මට යන්ට ඉඩදුන මැනවයි කීයෙමි. 26එහෙත් ස්වාමීන්වහන්සේ නුඹලා නිසා මා කෙරෙහි උදහස්ව මට ඇහුම්කන්නොදී මට කථාකොට: ඔය ඇත, මේ කාරණය ගැන තවත් මට කථානොකරන්න. 27නුඹ පිස්ගා මුදුනට නැගී ඇස් ඔසවා බස්නා ඉර දෙසද උතුරු දෙසද දකුණු දෙසද නැගෙනහිර දෙසද නුඹේ ඇස් යොමා බලන්න. මක්නිසාද නුඹ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහිය. 28එහෙත් යෝෂුවාට අණදී ඔහු ධෛර්යමත්කර ඔහු ශක්තිමත්කරන්න. මක්නිසාද ඔහු මේ සෙනඟට පෙරටුව ගොස් නුඹ දක්නා දේශය තෙමේම ඔවුන්ට උරුම කරදෙන්නේයයි මට කීසේක. 29මෙසේ අපි බෙත්-පෙයෝර් ඉදිරිපිට මිටියාවතේ නැවතී සිටියෙමුව.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for ද්වීතීය කථාව 3