YouVersion Logo
Search Icon

දානියෙල් 10

10
දීප්තිමත් දේවදූතයෙකු දැක කථාකිරීම
1පර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ තුන්වෙනි අවුරුද්දේ බේල්ටෙෂශර් නම්වූ දානියෙල්ට කාරණයක් එළිදරව්විය; ඒ කාරණය සැබෑය, එනම් මහත් යුද්ධයක් ගැනය. ඔහු කාරණය කල්පනාකර, දර්ශනය තේරුම්ගත්තේය. 2ඒ දවස්වලදී දානියෙල් වන මම සති තුනක් මුළුල්ලේම වැලපෙමින් සිටියෙමි. 3සති තුනක්ම පසුවෙන තුරු මා රස ආහාර කෑවේවත් මස් හෝ මුද්‍රිකපානය මාගේ කටට ගත්තේවත් තෙල් ගාගත්තේවත් නැත. 4පළමුවෙනි මාසයේ විසිහතරවෙනිදා හිද්දෙකෙල් යන මහත් ගංගාව අසබඩ සිටියදී, 5මාගේ ඇස් ඔසවා බලා, මනුෂ්‍යයෙක් සිහින් හණ රෙදි ඇඳ, ඌපාස්හි පිරිසිදු රනින් ඉඟටිය බැඳගන සිටිනවා දුටිමි. 6ඔහුගේ ශරීරය රන්කාන්තියක් මෙන්ය, ඔහුගේ මුහුණ විදුලියේ පෙනීම මෙන්ය, ඔහුගේ ඇස් ගිනි පහන් මෙන්ය, ඔහුගේ හස්ත සහ පාද ඔප්නැගූ පිත්තල මෙන්ය, ඔහුගේ වචනවල හඬ සමූහයක හඬ මෙන්ය. 7දානියෙල් වන මම පමණක් දර්ශනය දුටිමි. මා සමඟ සිටි මනුෂ්‍යයන් දර්ශනය දුටුවේ නැත; එහෙත් මහත් භීතියක් ඔවුන් පිටට පැමිණ, ඔව්හු සැඟවෙන පිණිස පලාගියෝය. 8මම පමණක් ඉතිරිව සිට, ඒ මහත් දර්ශනය දුටුවෙමි, කිසි ශක්තියක් මා තුළ ඉතිරි නොවීය. මා කෙරෙහි මාගේ ශෝභනකමද අජීවකමට හැරුණේය, කිසි ශක්තියක්ද මා තුළ නොපැවතුණේය. 9එහෙත් ඔහුගේ වචනවල හඬ මට ඇසුණේය. ඔහුගේ වචනවල හඬ මට ඇසුණු කල මුර්ඡාවී මුහුණින් බිම වැටුණෙමි. 10එවිට අතක් මට ස්පර්ශවී, මාගේ දණහිස්ද අතුල්ද බිම ගසා ඉන්ට මට සැලැස්විය. 11ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යයාවූ දානියෙල්, මා විසින් නුඹට කියන වචන කල්පනාකර, නැගිට කෙළින් සිටින්න; මක්නිසාද මම දැන් නුඹ ළඟට එවනලද්දෙමියි කීවේය. ඔහු ඒ වචනය මට කී විට මම වෙවුලමින් සිටියෙමි. 12ඔහු මට කථාකොට: දානියෙල්, භය නොවන්න; මක්නිසාද නුඹ තේරුම්ගන්ටත් නුඹේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටත්වෙන්ටත් නුඹේ සිත යොමුකරගත් පළමුවෙනිදා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි. 13පර්සියා රාජ්‍යයේ අධිපතියා විසිඑක් දවසක් මට විරුද්ධව සිටියේය; නුමුත් ප්‍රධාන අධිපතීන්ගෙන් එක්කෙනෙක් වන මීකායෙල් තෙම මට උපකාරකරන්ට ආයේය. එසේ මම පර්සියාවේ රජවරුන් වෙත එහි ප්‍රමාදවුණෙමි. 14මතු දවස්වල නුඹේ සෙනඟට සිද්ධවෙන්ට තිබෙන කාරණා නුඹට තේරුම්කරදෙන්ට ආවෙමි. මක්නිසාද දර්ශනය [ඉෂ්ටවෙන්ට] තව බොහෝ දවස් ඇත්තේයයි කීවේය. 15ඔහු මෙබඳු වචන මට කී විට, මාගේ මුහුණ බිමට නමා ගොළුව උන්නෙමි. 16එකල මනුෂ්‍ය පුත්‍රයන්ට සමානවූ කෙනෙක් මාගේ තොල් ස්පර්ශකෙළේය. මම වනාහි මාගේ කට ඇර, මා ඉදිරියෙහි සිටි තැනැත්තාට කථාකරමින්: මාගේ ස්වාමිනි, දර්ශනය නිසා මට රුජාවක් අල්ලා, මා තුළ කිසි ශක්තියක් ඉතිරි නොවීය. 17මේ මාගේ ස්වාමීහුගේ මෙහෙකරුවාට මේ මාගේ ස්වාමීන් සමඟ කථාකරන්ට පුළුවන් කොහොමද? මෙතැන් පටන් මා තුළ නම් කිසි ශක්තියක් නොතිබුණේය, හුස්මද මා තුළ ඉතිරි නොවීයයි කීවෙමි. 18එවිට නැවත මනුෂ්‍ය පෙනීම ඇති කෙනෙක් මට තට්ටුකර මා සවිකෙළේය. 19ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යය, භය නොවන්න. නුඹට සමාදානය වේවා, සවිවෙන්න, සවිවෙන්නැයි කීවේය. ඔහු මට කථාකළ විට මම සවිවී: ස්වාමීන්වහන්සේ කථාකරනසේක්වා, ඔබ මා සවිකළසේකැයි කීවෙමි. 20එවිට ඔහු: මම නුඹ ළඟට කුමකට ආයෙම්දැයි දන්නෙහිද? මම දැන් පර්සියාවේ අධිපතියා සමඟ යුද්ධකරන්ට හැරී යන්නෙමි. මා පිටත්ව ගිය කල ග්‍රීසියේ අධිපතියා එන්නේය. 21එහෙත් සැබෑකමේ ලියවිල්ලෙහි ලියා තිබෙන දේ නුඹට දන්වන්නෙමි. ඔවුන්ට විරුද්ධව නුඹලාගේ අධිපතියාවූ මීකායෙල් මිස මට උපකාරකරන වෙන කිසිවෙක් නැත්තේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy