කොලොස්සි 3:1-14
කොලොස්සි 3:1-14 SROV
ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක. පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න. මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ. අපේ ජීවනය වන ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශවන කල, නුඹලාත් උන්වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශවන්නහුය. එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න. මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය. නුඹලාත් පසුගිය කාලයෙහි ඒ දේවල ජීවත්වූ කල ඒවායෙහි හැසුරුණහුය. නුමුත් දැන් නුඹලා ඒ සියල්ල–කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කථාව–පහකරන්න. එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා, අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය. එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක. එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන, එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; ස්වාමීන්වහන්සේ නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න. මේ සියල්ල උඩින් ප්‍රේමය නමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.













