2 තිමෝති 1:7-14
2 තිමෝති 1:7-14 SROV
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය. එබැවින් අපගේ ස්වාමීන්වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක් වන මා ගැනවත් ලජ්ජා නොවී, දෙවියන්වහන්සේගේ බලයේ ප්‍රකාරයට ශුභාරංචිය නිසා මා සමඟ දුක් විඳින්න. උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන්වහන්සේගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පූර්ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙනලද කරුණාවේද ප්‍රකාරයට අප ගළවා, ශුද්ධවූ කැඳවීමකින් කැඳවාගත්සේක. මරණය නැතිකර ජීවනයත් අමරණභාවයත් ශුභාරංචිය කරණකොටගෙන එළිදරව්කළාවූ අපගේ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීමෙන් ඒ කරුණාව දැන් ප්‍රකාශවී තිබේ. ඒ ශුභාරංචියට මම දේශනාකාරයෙක්ද ප්‍රේරිතයෙක්ද ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි. ඒ කාරණය නිසා මේ දේවලුත් විඳීමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම්කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාසකරගන සිටිමි. නුඹ මාගෙන් ඇසූ සාරවූ වචනවල ආදෘශය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල සහ ප්‍රේමයෙන් යුක්තව අල්ලාගන සිටින්න. නුඹට භාරදුන් යහපත් දෙය අප තුළ වසන ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ආරක්ෂාකරන්න.












