2 රාජාවලිය 10:10-17
2 රාජාවලිය 10:10-17 SROV
එබැවින් ස්වාමීන්වහන්සේ ආහබ්ගේ වංශයට විරුද්ධව කී තමන්ගේ වචනයෙන් කිසිවක් හිස් නොවන බව දැනගන්න. ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ එලියා ලවා කියෙවු දේ ඉෂ්ටකළසේකැයි කීවේය. මෙසේ යේහු යෙස්‍රෙයෙල්හි ආහබ්ගේ වංශයෙන් ඉතුරුව සිටි සියල්ලන්ද ඔහුගේ සියලු ප්‍රධාන තැනැත්තන්ද ඔහුගේ නෑයන්ද ඔහුගේ පූජකයන්ද ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොකර මැරුවේය. ඔහු නැගිට සමාරියට යන්ට පිටත්වුණේය. ඔහු මගදී බැටළු ලොම් කපන්නන්ගේ ගෙට ළංව සිටියදී, යූදාහි රජවූ අහසියාගේ සහෝදරයන් යේහුට සම්බවී: නුඹලා කවුරුදැයි ඇසුවේය. අපි අහසියාගේ සහෝදරයෝය. රජුගේ පුත්‍රයන්ටත් බිසවගේ පුත්‍රයන්ටත් ආචාරකරන්ට යමුයයි ඔව්හු කීවෝය. ඔහුද: ඔවුන් පණපිටින් අල්ලාගන්නැයි කීය. ඔව්හු ඔවුන් පණපිටින් අල්ලාගෙන මනුෂ්‍යයන් සතළිස් දෙදෙනෙක්වූ ඔවුන් බැටළු ලොම් කපන්නන්ගේ ගෙය ළඟදී මැරුවෝය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඔහු ඉතුරුකළේ නැත. ඔහු එතැනින් ගිය විට ඔහුගේ පෙරමගට ආ රේකාබ්ගේ පුත්‍රවූ යෙහෝනාදාබ් සම්බවී ඔහුට ආචාරකොට: මාගේ සිත නුඹේ සිත කෙරේ අවංකව තිබෙන්නාක්මෙන් නුඹේ සිතත් අවංකදැ යි ඇසුවේය. යෙහෝනාදාබ්: එසේයයි කීවිට: එසේ නම් මට නුඹේ අත දෙන්නැයි ඔහු කීවේය. ඔහු තමාගේ අත ඔහුට දුන්නේය. එවිට යේහු තමාගේ රථයට ඔහු නංවාගෙන කථාකොට: ස්වාමීන්වහන්සේ උදෙසාවූ මාගේ ජ්වලිතකම බලන්ට මා සමඟ එන්නැයි කීවේය. මෙසේ ඔව්හු ස්වකීය රථයෙහි ඔහු නංවාගෙන ගියෝය. ඔහු සමාරියට ආ කල ස්වාමීන්වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගෙන් ඉතුරුව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශවනතුරු මරාදැමුවෝය.





