YouVersion Logo
Search Icon

2 කොරින්ති 3

3
ප්‍රේරිත තැනගේ මෙහෙයේ දිව්‍ය සාක්ෂිපත්‍ර
1අපි නැවත අප ගැනම සාක්ෂි දෙන්ට පටන්ගනිමුද? නොහොත් සාක්ෂිපත්‍ර නුඹලාට දෙන්ට හෝ නුඹලාගෙන් ගන්ට හෝ සමහරුන්ට මෙන් අපට ඕනෑකරනවාද? 2අපගේ පත්‍රය නම් නුඹලාය; එය අපේ සිත්වල ලියා තිබේ, සියලු මනුෂ්‍යයෝද එය දැනගන කියවති. 3මක්නිසාද නුඹලා අපේ සේවය කරණකොටගෙන තීන්තවලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ද ගල්ලෑලිවල නොව මාංසවූ සිත් නමැති ලෑලිවලද ලියා තිබෙන ක්‍රිස්තුස්වහන්සේගේ පත්‍රයක් බව ප්‍රකාශව තිබේ. 4එබඳු විශ්වාසයක් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි අපට ඇත්තේය. 5එහෙත් අපෙන්ම වුණාක්මෙන් අප තුළෙන්ම යමක් යෝජනාකරන්ට අපගේ සමර්ථකමක් නැත; අපගේ සමර්ථකම දෙවියන්වහන්සේගෙන්ය. 6තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.
ශුභාරංචියේ සේවය ව්‍යවස්ථාවට වඩා තේජවත්ව තිබෙන බව
7ඉදින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෝසෙස්ගේ මුහුණේ තිබුණු නැතිවීයන්නාවූ තේජස නිසා ඔහුගේ මුහුණ දෙස ඇස් හෙළා සිටින්ට බැරි ලෙස ගල්වල ලියා කොටනලද මරණයාගේ සේවය තේජසින් යුක්තව පැමිණියේ නම්, 8ආත්මයේ සේවය ඊට වඩා කොපමණ තේජසින් යුක්තව නොතිබේද? 9මක්නිසාද වරදට පත්කිරීමේ සේවය තේජස නම් ධර්මිෂ්ඨකමේ සේවයේ තේජස ඊට වඩා බොහෝසෙයින් වැඩිව තිබේ. 10එසේය, තේජස ඇතුව තිබුණු එක පවා ඉතා වැඩිව තිබෙන තේජස නිසා මේ කාරණයෙන් තේජස නැතුව තිබේ. 11මක්නිසාද නැතිවී යන්නාවූ එක තේජසින් යුක්තවී නම්, පවතින්නාවූ එක ඊට වඩා බොහෝසෙයින් තේජසින් යුක්තව තිබේ.
12එහෙයින් මෙබඳුවූ බලාපොරොත්තුවක් ඇතුව අපි ඉතා පැහැදිලිලෙස කථාකරමුව. 13පහවීයන්නාවූ දෙයේ අවසානය දෙස ඉශ්‍රායෙල් පුත්‍රයන් ඇස් හෙළාගන නොසිටින පිණිස මෝසෙස් තමාගේ මුහුණේ වැස්මක් දමාගත් ලෙස අපි නොකරමුව. 14ඔවුන්ගේ සිත් දැඩිවුණේය. එසේය, අද දක්වාම පරණ ගිවිසුම කියවන කල එම වැස්ම පවතින්නේය. ඒ වැස්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ නැතිකරනලද්දේය. 15අද දක්වා මෝසෙස්ගේ ලියවිලි කියවන කල වැස්මක් ඔවුන්ගේ සිත් පිට තිබේ. 16එසේවී නුමුත් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන කල ඒ වැස්ම අහක්කරනු ලැබේ. 17ඉදින් ඒ ස්වාමීන්වහන්සේ ආත්මයාණන්වහන්සේය. ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය. 18අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස්කරනු ලබමුව.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy